රුපියල් තුන් කෝටි හතලිස් ලක්ෂයක් වටිනා නවීනතම ජංගම දුරකථන 397 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 01/18 දින උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු කොළඹ , දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ නිසි අවසරයකින් තොරව සහ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත ප්‍රකාශ කිරීමකින් තොරව මෙම ජංගම දුරකථන තොගය මෙරටට රැගෙන විත් තිබුණි .
මොහු 01/18 දින උදෑසන 07.00 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 03 ක් තුළ නවීනතම ඇපල් සහ සැම්සුන් වර්ගයේ ජංගම දුරකථන තොගය සගවා ගෙන තිබුණි .
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොහු අත් අඩංගුවේ තබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .


