ලක්ෂ 168ක කුෂ්, කොලැජන් හා විටමින් සී අල්ලයි


රුපියල් එක් කෝටි හැට අට ලක්ෂ විසි දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් ,  සම පැහැපත් කිරිමට යොදා ගන්නා " කොලැජන් " ( Pink Gluta Collagen ) සහ " විටමින්  සී " පෙති තොගයක් ද නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු 03/16 දින අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන සිටිති.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ - 08 , බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි වියේ පසුවන  ත්‍රිරෝද රථ රියැදුරුවරයෙකු සහ මරදාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මොවුන් 03/16 දින අලුයම 12.20 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

  ඔවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 632 ක් සහ " කොලැජන් '' පැකැට් 2,160 ක් මෙන්ම " විටමින් සී " පෙති 6,390 ක් ද සගවා ගෙන සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ .

                මෙම " කොලැජන් '' සහ " විටමින් සී " පෙති , මෙරටට ආනයනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරය තිබිය යුතුය .

                    මෙසේ රැගෙන ආ " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මොවුන් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී ඇති අතර නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ   "කොලැජන් '' සහ " විටමින් සී " තොගය පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති .



Recommended Articles