ලක්ෂ 150ක දුම්වැටි කටුනායකින් පන්නන්න බැරි වෙයි


රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු 01/12 දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් දෙදෙනා මීගමුව ප්‍රදේශයේ පදිංචි විවාහක අඹසැමි යුවළකි. 39 හැවිරිදි සැමියා සංචාරක ව්‍යාපාරයේ ද නිරතව සිටින්නෙකි . බිරිද 29 හැවිරිදිය .

ඔවුන් දෙදෙනා 01/12 දින අලුයම 02.30 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් දෙදෙනා විසින් රැගෙන ආ ගමන් මලු 06 ක් තුළ , විදේශීය නිෂ්පාදිත " ප්ලැටිනම්'' වර්ගයේ දුම්වැටි ලක්ෂයක් අඩගු දුම්වැටි කාටූන් 500 ක් සගවා ගෙන සිටියදී , මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට මොවුන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , එළඹෙන 01/14 දින මොවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Recommended Articles