ලංකාවේ නාට්‍යවේදියෙකුට ඉන්දියාවෙන් ගෞරව සම්මානයක්


ඉන්දියාවේ කල්කටා නුවර පැවති තුන් වන අන්තර්ජාතික " රංග සේනා " නාට්‍ය උළෙලේදී ශ්‍රී ලාංකික තරුණ නාට්‍යවේදියකු වන දේවින්ද වික්‍රමසිංහ මහතාට " රංග නාට්‍ය ශාස්ත්‍ර " නැමැති සුවිශේෂී ගෞරව සම්මානයක් හිමි වී ඇති අතර ඔහු එය රැගෙන 02/11 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

මෙම නාට්‍ය උළෙල ඉකුත් 02/02 දින සිට 02/06 දින දක්වා ඉන්දියාවේ කල්කටා නුවර පවත්වා තිබූ අතර එයට නේපාලය ඉන්දියාව,පකිස්තානය, ඉතාලිය යන රටවල නාට්‍යවේදීන් සිය නිර්මාණ ඉදිරිපත් කර තිබුණි.

" මම අඩකුඹුයි " යන නාට්‍ය දේවින්ද වික්‍රමසිංහ මහතා විසින් මෙම නාට්‍ය උළෙලට ඉදිරිපත් කර තිබූ අතර , එයින් අපගේ සිංහ කොඩියේ සිටින සිංහයා , එයින් බැස විත් සිදු කරන පාපෝච්චාරණයක් ලෙස මෙම නාට්‍ය නිර්මාණය කර තිබේ .

මෙහි එක් රංග ශිල්පියෙකු පමණක් රංගනයෙහි යෙදෙන අතර විනාඩි 30 ක කාළයක් තුළ වේදිකාව තුළ දිග හැරෙයි .

 මෙම නාට්‍ය 2015 වසරේ ජාතික යෞවන සම්මාන නාට්‍ය උළෙලේදී හොදම නාට්‍ය ලෙස ජයග්‍රහණය හිමි කර ගෙන ඇති අතර , 2017 රාජ්‍ය නාට්‍ය උළෙලේදී ඇගැයීමට ද පාත්‍ර වී තිබේ .

දේවින්ද වික්‍රමසිංහ කැළණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කළාව පිළිබඳ බාහිර කතිකාචාර්යවරයෙකි. මෙම නාට්‍යවේදීයා 02/11 දින පස්වරු 01.20 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ 1203 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි'



Recommended Articles