ලංකාවෙන් යන්න ගිය ඊශ්‍රායෙල් තරුණිය ළඟ සජීවි පතොරමක්


ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී ආපසු ඊශ්‍රායලය බලා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඊශ්‍රායල ජාතික තරුණියකගේ ගමන් මල්ලේ තිබූ මිලි මීටර් 5.56 සජීවී පතුරමක් කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සොයා ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත 03/04 දින අලුයම  භාර දී තිබේ .

ඇය 22 හැවිරිදි ඊශ්‍රායල යුධ හමුදාවේ සේවය කළ තරුණියකි. ඇය සිය මිතුරියක සමග ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණ තිබුණි.

ඇය 03/04 දින අලුයම 01.55 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 570 දරන ගුවන් යානය වෙත පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

 එහිදී ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලු , ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍රයක් ( Scan Test ) මගින් පරීක්ෂා කිරීමකට ලක් කිරීමේ දී මෙම සජීවී පතුරම සොයා ගෙන තිබේ .

පසුව මෙම තරුණිය , මෙම පතුරම ද සමග කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .

කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ මූලිකත්වයෙන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරෙන අතර මෙම තරුණිය සමග ඇය විසින් රැගෙන යාමට තැත් කළ සජීවී පතුරම 03/04 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .



Recommended Articles