ලංකාවට පැමිණි 1716ක් නිරෝධායනයේ


ලොව පුරා කොවිඩ් - 19 කොරෝනා වෛරස රෝගය වඩාත්  තදින්  පැතිර පවතින රටවල් 11 කින් , අද (15දා) වනවිට පැමිණි ගුවන් මගීන් 1716 ක් ශ්‍රී ලංකාව පුරා පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන 04 ක් වෙත යොමු කළ බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.

පොළොන්නරුව කන්දකාඩු, මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය, දියතලාව සහ කහගොල්ල යන ස්ථාන වල මෙම නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

ඉරානය, ඉතාලිය, දකුණු කොරියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්වීඩනය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය සහ ඔස්ට්‍රියාව යන රටවලින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

මේ වනවිට කුවේට් සහ බහරේන් සිට ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීම අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබූණ ද, ඒ පිළිබඳව ලිඛිත උපදෙස් මේ වනතුරු ගුවන් තොටුපළ වෙත ලැබී නොමැති බව ගුවන් තොටුපළ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.

කෙසේ වෙනත් මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන සියලුම ගුවන් මගීන්, ඔවුන් පැමිණෙන රටවල් පිළිබඳව දැඩි පරීක්ෂාවක්, කිසිදු ගුවන් මගියෙකු මගහැරී නොයන සේ, ඔවුන් පැමිණි ගුවන් යානය අසළටම ගොස් සිදු කිරීමට ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්, ගුවන් තොටුපළ වෙනත් නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා සහ ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරීන් පිරිසක් යොදවා ඇතැයි ගුවන්ද ෂෙහාන් සුමනසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

 

 



Recommended Articles