රෝහිත යළිත් මහින්දගේ ගුණ වයයි, පොහොට්ටුවට යාමේ සූදාමක්?


මහින්ද රාජපක්ෂ මහත්තයව ළගදිම කළුතර ට එක්ක ඇවිත් ළගින් ඉදන් කතාකරන්න අවස්ථාවක් දෙන බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (13) පැවසීය .

ඒ මහතා මේ බව සදහන් කලේ කළුතර දිස්ත්‍රික්කයේ  ඒ මහතා ට හිතවත් පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක්  අමතමිනි.

එම රැස්වීමට පැමිණ සිටී දේශපාලන ක්‍රියාකාරින් බහුතරයක් සදහන් කලේ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ට යලි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ට එක්වන ලෙසය.

"ජනතාව විශාල බලාපොරොත්තු තියාගෙන මේ ආණ්ඩුව  හැදුවා . තව මාස දෙකෙන් අවුරුද්දක් වෙනවා. මේ අවුරුද්ද තුල ප්‍රසාදය දැන් තියෙනවා ද ? උස මනින්න කෝදුවක් ඕන.බර මනින්න තරාදියක ඕන. ඒ වගේම මේ ආණ්ඩුවේ ප්‍රසාදය මනින්න හොදම උපකරණය අපේ අතේ තියන ජංගම දුරකථනය.

ඉස්සර අපේ ෆොටෝ ෆේස් බුක් එකේ දැම්මම රම්පෙට පොරි හැලෙන්න දෙනව. දැන් ආණ්ඩුව කෙනෙක් දැම්මම දෙන කමෙන්ට්  බලන්න. අපිට දුන්න ඒකේ අනිත් පැත්තට පැලෙන්න දෙනව.

අසූවේ අනුවේ 90 ආචිචිල  ඉස්සර ටොක් ටොක් ගගා බුලත් කෙටුවට දැන් ටික් ටොක් බලනවා. ඔවුන් ඉදිරියේදී තීරණය කරාවි.

අපි කකුලෙන් ඇදලා  ආණ්ඩුව පෙරලන්නේ නෑ. ජනතාව බුද්ධිමත් ඔවුන් ඉක්මනින් තිරණය ගන්නවා.මේ ආණ්ඩුව හැදුවේ මාලිමාවේ අය නොවෙයි අපේ අය.  ඒ අය මාලිමාවට කතිරය ගහල ඇවිත් දැන් කලකිරිලා මට කියනව පැලෙන්න දෙන්න කියල.

දැන් හාල් වගේම ලුනුත් පිටරටින් . ජනතාවට ඉර හද දෙන්නම් කීවට දැන් ඉර නොවෙයි තරු පෙනිලා.මම කියන්නේ විපක්ෂය ඉදන් කියනව වගේ ආණ්ඩුව ගත්තම කරන එක සුන්දර නෑ.

තෙල් විදුලි අඩුකරනව කීවා. විදුලි බිල අඩුකරනව කීවා. දැන් ලොකුම ප්‍රශ්නය බදු ගහන එක. ගහන සමහර බදු ගැන  අපි දැනගන්නෙත් මාධ්‍ය තුළින් . බදු වදින්නේ පොඩි මිනිහට. ආණ්ඩුව දැන් බුද්ධිමත් වෙන්න ඕන.

ඉස්සර මගේ රැස්වීමක් තිබ්බම මට  උම්ම දුන්න ෆොටෝ සතියක් යනකම් ෆේස් බුක් එකේ දානව. දැන් ඒ අයට මම හාද්දක් දෙන්න හැදුවම එයාල දුවනවා මම ෆේස් බුක් දාවි කියලා බයට.අපිට මීට වඩා වැටෙන්න තැනක් නෑ .මේ ඉන්නේ පැදුරෙත් නොවෙයි සිමෙන්ති පොලවේ.
 
අපිට විරුද්ධව ඡන්ද දුන්න අය දැන් රුපියල් 5000 ක් මාරු කරාම සොපින් එකක බඩු ගේන්න බෑ. ජනතාව පීඩනයක ඉන්නේ. අපි එක කදවුරක ඉදගෙන දේශපාලන ගමන ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා.

මහින්ද රාජපක්ෂ  වගේ දේශපාලන නායකයෙක් යලි බිහිවන්නේ නෑ. එතුමා  හිටියා නම් අපේ ආණ්ඩුව තිබ්බ නම් හොදයි කියල දැන් ජනතාව කියනවා. අපේ ආණ්ඩුව තිබ්බ නම් තවම නාකි මයිනා කියනවා. නාමල් ට පොඩි මයිනා කියනවා. ජනතාව බලන්නේ සාපෙක්ෂව. දැන් පේනව මහින්ද රාජපක්ෂ ගේ වටිනාකම .

එතුමා ට තියන ශක්තිය ජනතාව දන්නවා. එතුමාට ජනතාව තවම ආදරෙයි. මාලිමාවට ඡන්දය දුන්න කතරගම යන කෙනා මත්තල බහිද්දි මහින්ද රාජපක්ෂ ට පිං සිද්ධ වෙන්න කියල කියන්නේ. 

මම ගිය සතියේ කතරගම ගිහින් මහින්ද මහත්තය එක්ක එකට කතරගම පෙරහැර බැලුවා. එතුමට ඔබ තුමන්ල ආදරේ නිසා මම කළුතර ට එක්ක ඇවිත් ළගින් ඉදන් කතාකරන්න අවස්ථාව සලසා දෙන්නම්. "

පසුගිය මහ මැතිවරණයේදී රෝහිත අබේගුණවර්ධන මහතා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් කළුතරට තරග කර පාර්ලිමේන්තුවට පිවිසීමට සමත්වූයේය.

පානදුර සුමිත් පොතුපිටිය



Recommended Articles