රුහුණු සරසවි සිසුන්ට ඇප


රුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුම සම්බන්ධයෙන් සැක පිට රිමාන්ඩ් භාරයට පත් කර සිටි සිසුන් 21 දෙනා රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙක බැගින් මුදා හරින ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඊයේ (28) නියෝග කළේය.

තවද ඇප ලැබීමෙන් පසු එම නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට අවවාද කල මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එසේ බලපෑම් කල බවට වාර්තා වුවහොත් නඩු විභාගය අවසන් වන තුරු රිමාන්ඩ් භාරයට පත් කරන බවත් වින්දිතයන් ආරක්ෂා කිරිමේ පනත ප්‍රකාරව ක්‍රියා මාර්ග ගන්නා බවටත් දැනුම් දුන්නේය.

එසේ ඇප මත මුදා හරිනු ලැබුවේ රුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි සහ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකි.ඔවුන් ඉකුත් 20 වැනිදා කඹුරුපිටිය පොලීසිය මගින් සැක පිට අත්අඩංගුවට ගෙන ඊට පසු දින (21) මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේ දී ඊයේ (28) වන තෙක් රිමාන්ඩ් භාරයට පත් කරන ලදි.

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර සරසවි සීසුන් 21 දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි.
සරසවි සිසුන් අතර පැවැත්වු සුහද ක්‍රිකට් තරගයක් අතරතුරදී ලකුණු සම්බන්ධයෙන් ඇතිව තිබු මත ගැටුමක් දුරදිග යාම නිසා මෙම ගැටුම ඇති වී තිබුණි.එහිදී සිසුන් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරන ලදි.

කෙසේ වෙතත් උද්ගත වු තත්වය හමුවේ විශ්ව විද්‍යාලය තුල සාමය ආරක්ෂා කර ගැනීම සදහා කෘෂි විද්‍යා පීඨයේ දෙවන හා තෙවැනි වසරේ සීසුන්ට එම පීඨය තාවකාලිකව තහනම් කිරීමටත් නේවාසිකාගාර වලින් ද එම සිසුන් ඉවත් කිරීමටත් විශ්ව විද්‍යාල පාලන අධිකාරිය පියවර ගනු ලැබීය.

දකුණු පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත ජයමිණී කුමාර මහතාගේ අධීක්‍ෂණය යටතේ කඹුරුපිටිය පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

ක්‍රිෂාන් ජීවක් ජයරුක්



Recommended Articles