රු. කෝටි 35ක හෂීෂ් සමග කැනඩා හෙද ශිෂ්‍යවක් අල්ලයි


රුපියල් තිස් පන් කෝටි විසිහය ලක්ෂ පනස් දහසක් වටිනා " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ විශේෂ පහසුකම් භාවිතා කරමින්  සහ එහි පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත "( Green Channel  ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය තරුණියක සමග රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 06/23 දින රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ .

ඇය 18 හැවිරිදි කැනඩාවේ , ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ , හෙද පුහුණු පාඨමාලාවක් හදාරන ශිෂ්‍යාවකි . ඇයට සිය අධ්‍යාපන කටයුතු සදහා යොදා ගැනීමට කැනේඩියානු ඩොලර් 12,500 ක් සහ විදේශ සංචාරයක් ලබා දීමේ පොරොන්දුව මත , එම විශ්ව විද්‍යාලයයේ රියැදුරුවරයෙකු , මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒම සදහා ඇය වෙත භාර දී තිබේ .

ඇය මෙම " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගය කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් රැගෙන , ඩුබායි වෙත පැමිණ , එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

ඉන්පසුව කටුනායක ගුවන් තොටුපොළ තුළ ක්‍රියාත්මක  Meet and Great විශේෂ පහසුකම යටතේ ඇයගේ ගමන් මලු , ගමන් මලු පථයෙන් රැගෙන , ගුවන් තොටුපොළ සේවිකාවන්ගේ මග පෙන්වීම යටතේ ,  ගුවන් තොටුපොළ " හරිත මාවත '' ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කර තිබේ .

 එහිදී ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලු 02 ක් තුළ , පැකැට් 140 ක් තුළ අසුරා , මෙම " හෂීෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 35 ග්‍රෑම් 265 ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි .

 මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම තරුණිය සහ ඇය විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇති අතර ඔවුන් ඇය සහ මත්ද්‍රව්‍ය තොගය 06/24 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .



Recommended Articles