රු. කෝටි 12ක කුෂ් අල්ලයි


රුපියල් දොළොස් කෝටි දහසය ලක්ෂයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගීන් තිදෙනෙකු 08/07 දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මෙසේ අත් අඩංගුවට ගෙන ඇති සියලුම ගුවන් මගීන් ඉන්දීය ජාතික ව්‍යාපාරිකයන් වන අතර , ඔවුන් අතරින් 42 හැවිරිදි එක් අයෙකු පිරිමි පුද්ගලයෙකු වන අතර ඉතිරි 43 හැවිරිදි සහ 22 හැවිරිදි දෙදෙනා කාන්තාවන් වේ .

ඔවුන් 08/07 දින අලුයම 12.03 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 12 යි ග්‍රෑම් 160 ක ප්‍රමාණය , පැකැට් වශයෙන් සකස් කර , ඒවා ගුවන් තොටුපොළ පරිලෝකන යන්ත්‍ර පරීක්ෂා කිරීම් වලදී මගහැරීම සදහා කාබන් කොළ වලින් ආවරණය කර , සගවා ගෙන මෙරටට පැමිණ තිබුණි .

මොවුන් තිදෙනා 08/07 දින ශ්‍රී ලංකාවට මෙම මත්ද්‍රව්‍ය ආනයනය කිරීම , සන්තකයෙහි තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රදවා තබා ගෙන වැඩිදුරට විමර්ශන සිදු කිරීමට නියමිතය .



Recommended Articles