රිය අනතුරකින් මව සහ දියණිය මරුට පියා සහ පුතාට බරපතළ තුවාල


අනුරාධපුර ගල්කුලම ඒ13 මාර්ගයේ වන්නම් මඩුව ප්‍රදේශයේ දී අද (2දා) අලුයම සිදු වූ මාරක රිය  අනතුරකින් එකම පවුලේ මවක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්ව, පියා සහ පුතා බරපතළ තුවාල ලබා ඇතැයි කවරක්කුලම පොලීසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දඹුල්ල, රත්මල්ගහඇල ප්‍රදේශයේ පදිංචිව සිටී එම්.එස්. ශාමලී හේරත් (41) සහ දිනති සත්සරණි කරුණාරත්න (14) නැමැති මවක සහ දියණියක් වන අතර මෙම අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ ආර්.පී.කේ. ඉන්ද්‍ර කුමාර නැමති පියකු(46) සහ කවිඳු සත්සර කරුණාරත්න (9) නැමැති ඔහුගේ පුත්‍රයා බව පොලිසිය කියයි. 

දඹුල්ල නගරයේ සිට වන්දනා කටයුත්තක් සඳහා අනුරාධපුර පූජා නගරයට පැමිණෙමින් සිටි  එකම පවුලේ  පියා, මව, දුව සහ පුතෙකු රැගත් ත්‍රීරෝද රථයක්, ගල්කුලම - අනුරාධපුර මාර්ගයේ වන්නම්මඩුව ප්‍රදේශයේදී  වම් පසට ඇදී ගොස්  මාර්ගයෙන් ඉවතට පැන, ගසක සහ බෝක්කුවක ගැටී මෙම මාරක අනතුර සිදුව ඇති බව  පොලීසිය සඳහන් කළේය.

මෙම ත්‍රිරෝද රථය අද (2දා) අළුයම 5.20ට  පමණ  අනතුරකට ලක් වන ආකාරය අසල තිබූ සී.සී.ටී.වී කැමරාවකද සටහන්ව ඇති බවත්, අනතුරට හේතුව රියදුරුට නින්ද යාම බවට සැක කරන බවද පොලිසිය කියයි.



Recommended Articles