රඹුකේඇළ නායයෑමෙන් තවත් ජීවිත 10ක් පස් යට


දිත්වා සුළි කුණාටුව විසින් ජීවිත 29 ක් බිලි ගත් මහනුවර දිස්ත්‍රික්කයේ විශාලතම නායයෑමක් සිදු වූ අලවතුගොඩ රඹුකේඇල නාය භූමිය අද දිස් වන අයුරුයි මේ.

මෙම ස්ථානයේ සිදු වු නායයෑම හේතුවෙන් පුද්ගලයින් 29 දෙනෙකු පස් යට සැඟව ගිය අතර එයින් 19 දෙනෙකුගේ මෘත දේහයන් සොයා ගොඩ ගෙන  භූමදානය කළ බවත් තම ඥාතින් තවත් දස දෙනෙකු මෙම පස් යට සැඟව අතුරුදහන්ව සිටින බවත් එම ප්‍රදේශයේ ජනතාව සඳහන් කරති.

 ජීවිත 29 ක් බිලි ගෙන  නායයෑම් සිදු වූ මෙම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා අද 14 වනදා සවස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණෙන බවට දන්වා තිබූ අතර එම ස්ථානයේ පොලිස්  ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින්ද යොදවා තිබිණ. විපක්ෂ නායකවරයාගේ  ආරක්ෂක අංශයේ නිලධාරින්ද පැමිණ සිටි නමුත් හදිසියේ ඇති වූ අසනීප තත්වයක් මත විපක්ෂ නායක වරයා  එම ස්ථානයට නොපැමිණෙන බවත් මගින් හැරී ගිය බවත් දන්වා එවා තිබිණ.

මෙම ස්ථානයේ රැස්ව සිටි පිරිස හමු වීම සඳහා හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම හාරිස්පත්තුව සමගි ජන බලවේගයේ ආසන  සංවිධායක එම්.එච්.ඒ. හලීම් මහතා ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.



Recommended Articles