අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සකස් කරන ආණ්ඩුවට ජාතික ජන බලවේගයේ සහාය නොලැබෙන බවත් වත්මන් ආණ්ඩුව මාළිගා කුමන්ත්‍රණවලින් සකස් කර ගත් ආණ්ඩුවක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදි ඔහුට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.
“සීනි හොරාත්, බැංකු හොරාත් අටවා ගත්ත මේ රූකඩ ආණ්ඩුවට ජාතික ජන බලවේගය කිසිසේත්ම සම්බන්ධ වෙන්නේ නැහැ. අඩුම ගණනේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල කතාබහකින්වත් පැමිණි එකඟතාවයක් නොවෙයි, හොර රහසේ මාළිගා කුමන්ත්‍රණවලින් හදාගත් ආණ්ඩුවක් මේක. කැබිනට් ඇමතිවරුන් හොයමින් මෙහෙයුමක් දැන් ක්‍රියාත්මක වෙන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර මන්ත්‍රීවරු ඇමතිකම් ගන්න සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා. අනෙක් කණ්ඩායම් අතරත් විවිධ උවමනාවන්, වරදාන වරප්‍රසාද ගැන හිතන අය ඉන්නවා. පටු පෞද්ගලික උවමනා වෙනුවෙන් ක්‍රියාකරන අය ඉදිරියේදී තවත් දකින්න පුළුවන් වෙයි. මේ රූකඩ පාලනයට ජනතාවගේ අනුමැතියක් නැහැ. ජාතික ජන බලවේගය ඊට කිසිසේත් සම්බන්ධ වෙන්නේ නැහැ. අද වනවිට ජනතාවගේ දැවෙන ආර්ථික ප්‍රශ්නවලට උත්තර සපයන කෙටි කාලීන වැඩපිළිවෙළක්වත් ඉදිරිපත් කර තිබුණා නම්, ජනතාව සලකා බලන බව අපිට පැහැදිලියි.
ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගෙන ඒම පිළිබඳවත් කාලරාමුවක් සහිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැහැ. ගෝඨාගෝගමට පහසුකම් දෙන්න රනිල් කමිටු පත්කරනවා. නමුත් සාමකාමී උද්ඝෝෂකයන්ට පහරදීම සම්බන්ධයෙන් සොයා බලන්න කමිටු පත්කර නැහැ.
මූනිච්ඡාවට තරුණයන්ව රවට්ටන්න බොනපාට්වාදී තියරිය පාවිච්චිකර තිබෙනවා. ඔහුට පළමුවෙන්ම කරන්න තිබුණු ක්‍රියාමාර්ගය අත්හැරීමෙන් ඔහුගේ භාවිතාව ගැන පැහැදිලියි. සාගල රත්නායක, අකිල විරාජ්, රංගේ බණ්ඩාර, වජිර අබේවර්ධන අයගෙන් කමිටු හදලා දැවෙන සමාජ ආර්ථික ප්‍රශ්න විසඳන්න යනවා. මේ විකාරරූපී පාලනය කොයිවගේද කියලා ඒකෙන්ද පැහැදිලියි. ජාතික ජන බලවේගය ඒ කිසිම දෙයකට සහයෝගය දෙන්නේ නැහැ.