රත්තරන් ජෙල් ගත්ත කටුනායක ගුවන්තොටුපොලේ පොලිස් සැරයන්වරු දෙදෙනෙක් අත්අඩංගුවට


ඩුබායි බලා ගුවන් ගත වීමට පැමිණි ගුවන් මගියෙකුගෙන් රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් මිශ්‍ර ජෙල් පැකට් දෙකක් ලබා ගත් කටුනායක ගුවන් තොටුපොළට අනුයුක්ත කර සිටි සංචාරක පොලිස් කොට්ඨාසයේ සැරයන්වරු දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිඹුලපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි සහ මූණමල්දෙණිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පොලිස් සැරයන්වරු දෙදෙනෙකි.

10/17 දින උදෑසන 11.00 ට පමණ නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ඩුබායි බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

එහිදී කටුනායක ගුවන් තොටුපොළ ආශ්‍රිතව රාජකාරී කිරීම සදහා සංචාරක පොලිස් කොට්ඨාසයට අනුබද්ධිත සැරයන්වරු දෙදෙනා විසින් මෙම ගුවන් මගියා සන්තකයේ තිබූ ග්‍රෑම් 634 ක් පමණ බරැති මෙම රත්තරන් මිශ්‍ර ජෙල් පැකට් දෙක ලබා ගෙන තිබුණි.

මෙම සිදුවීමෙන් පසු මෙම ගුවන් මගියා සිය ගුවන් ගමන අතහැර, කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වහාම ගුවන් තොටුපොළ වෙත ගොස් මෙම පොලිස් සැරයන්වරු දෙදෙනා සහ ඔවුන් ලබා ගත් රත්තරන් මිශ්‍ර ජෙල් පැකට් දෙක අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් දෙදෙනා 10/18 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .



Recommended Articles