වත්මන් රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් සිටිනවාට වඩා රජයට නිවැරදි ගමනක් යාමට මඟ පෙන්වීම ඉතා වැදගත් බවත්,යම් හෙයකින් රට බිඳ වැටුණහොත් කිසිවෙකුටත් මෙරට දේශපාලනය කිරීමට නොහැකි වන බවත් සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (29දා) මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදීය.
"අප වැඩ කළ යුත්තේ රට ප්‍රමුඛතාවයේ තබායි. අද වන විටආණ්ඩුව ඇතුළේ විශාල දෙදරීමක් ඇතිව තිබෙනවා. කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් එළියට ඇවිත් රජයේ කටයුතු සම්බන්ධයෙන් නොයෙක්නොයෙක් අදහස් ප්‍රකාශ කරමින් සිටිනවා .
අද වන විට මේ රටට විදුලි බලය ලබාදීම සඳහා අවශ්‍ය ගල් අඟුරු, ඩීසල් නිසි වේලාවට ලබා දීමට රජය අපොහොසත් වී තිබෙනවා. ඉන් රටේ ආර්ථිකයට බරපතළ මරු පහරක් වදිනවා. අද ජනතා විමුක්ති පෙරමුණට අමතක වී තිබෙනවා ඔවුන් ආණ්ඩු කළා කියලා. 2005 වසරේමහින්ද රාජපක්ෂ ජනාධිපති කළේ කවුද.ඒ සඳහා මූලික වී ක්‍රියා කළේකවුද. 1994 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට ගෙන ඒම සඳහා ඔවුන්ගේ අපේක්ෂකයන් ඉල්ලා අස්කරගෙන අවස්ථාව දුන්නා.
එසේම කැබිනට් ඇමතිකම් 04ක් සහ නියෝජ්‍ය ඇමැතිකම් 04ක් දැරුවා. කෘෂිකර්ම ඇමතිකම, ආර්ථික සංවර්ධන ඇමතිකම, ධීවර ඇමතිකම ඔවුන් දැරුවේ. එසේම ඔවුන් එම රජයේ මන්ත්‍රී ආසන 39ක් දැරුවා. ඔවුන් එම ඇමතිකම් දරා ආර්ථිකයට මෙන්ම සමාජමය වෙනසකට මොනවද කර තිබෙන්නේ. එහෙම හිටපු අය දැන් කියනවා අපි අලුත් අපි නොයිඳුල් අය කියලා.
අද වන විට වත්මන් රජයට ජනතාවගේ තිබෙන කලකිරීම අතිමහත්. අද මේ රටේ ජනතාව මුහුණ දී තිබෙන බැරෑරුම් තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා අප සියලු සියලුදෙනා එක්විය යුතුයි. සියලු පක්ෂවලට වගේම එක්සත් ජාතික පක්ෂයටත් එම ආරාධනාව විවෘත බව සඳහන් කරනවා" යනුවෙන් පැවසීය.
ෂේන් සෙනෙවිරත්න