මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී මියගිය සත්දරු පියෙකුගේ මෘතදේහයක් වෙනුවට වෙනත් අයෙකුගේ මෘතදේහයක් මාරුවීමේ සිද්ධියක් පිළිබඳව මොනරාගල රෝහලෙන් වාර්තා වේ.
හතිය රෝගය උත්සන්නවීමෙන් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී මියගිය මොනරාගල රුවල්වෙල තඹාන-හිඟුරේතැන්න පදිංචි කේ.එම් පුංචිබණ්ඩා (63) නැමති අයගේ මරණය සම්බන්ධයෙන් 21/12/04 වෙනි දින මරණ පරීක්ෂණය පවත්වා ඥාතීන්ට භාරදී තිබේ.
එදින රාත්‍රී මල්ශාලාවෙන් මෘතදේහය නිවසට ගෙනවිත් භාරදී ඇත. එම මෘතදේහය තමාගේ ස්වාමිපුරුෂයාගේ නොවන බවට බිරිඳ විසින් හඳුනාගෙන ඇත.තම ස්වාමිපුරුෂයාගේ ඉදිරිපස තට්ටය නොතිබුණු බවත් ගෙනැවිත් භාරදුන් මෘතදේහයේ තට්ටය පෑදී තිබී ඇති බවත්,තම ස්වාමිපුරුෂයාගේ පාදවල ඇඟිලි 06 බැගින් තිබූ අතර පාද වලට දමා තිබූ මේස් ගලවා බැලීමේදී එම මෘතදේහයේ පාදවල තිබී ඇත්තේ ඇඟිලි 05 බැගිනි.
ඒ අනුව තම ස්වාමිපුරුෂයාගේ මෘතදේහයට මොනරාගල රෝහලේදී වෙනත් මෘතදේහයක් මාරුවී ඇති බව තේරුම්ගත් පවුලේ ඥාතීන් රාත්‍රියේදීම එම මෘතදේහය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ගෙනවිත් මෘත ශරීරාගාරයට භාරදී ඔවුන්ගේ මෘතදේහය රැගෙනගොස් ඇත.
මේ පිළිබඳව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය අධිකාරී ධනපාල රත්නායක මහතාගෙන් කළ විමසුමකදී මෙසේ කීය "මෘතදේහයක් භාරගන්නා විට මෘතදේහය හඳුනාගෙන භාරගැනීම ඥාතීන්ගේ වගකීමක්. ඒ වගේම මෘත ශරීරාගාරයේ සේවකයින්ද මෘතදේහය හඳුනාගැනීමෙන් පසුව ඥාතීන්ට භාරදිය යුතුයි."
මොනරාගල සුමනසිරි ගුණතිලක

