රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගනු ලැබූ තීරණය අහෝසි කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගෙවීමට නියම කරනු ලැබූ රුපියල් දස ලක්ෂයක වන්දි මුදල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙවා අවසන් කළ බව ඒ මහතාගේ නීතිඥවරු අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්හ.
සිද්ධියට සම්බන්ධ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද අධිකරණයේ පෙනී සිටියේය.
පෙත්සම පසුගිය මාර්තු මාසයේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් අධිකරණයෙන් නියම කරනු ලැබූ වන්දි මුදල වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා මෙතෙක් ගෙවා නොමැති බව අධිකරණයට දැනුම් දි තිබිණි.
ඒ පිළිබඳව විමසීම සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් නොතිසි නිකුත් කර තිබිණී.
එහෙත් එදින එම නොතිසි නිකුත් කිරීමේ නියෝගය නිකුත් කර ස්වල්ප වෙලාවකින් අධිකරණයට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ වන්දි මුදල ගෙවා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයාගේ කාර්යාලයේ වාර්තා පිරික්සීමේදී පෙනී යන බව දැනුම් දුන්නේය.
මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාද සිය සේවාදායකයා අදාළ වන්දි මුදල් ගෙවා ඇති බව තහවුරු කළේය.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කරුණු දක්වමින් අධිකරණය නියම කළ වන්දි මුදල තම සේවාදායකයා දැනටමත් ගෙවා අවසන් කර ඇති හෙයින් සිය සේවාදායකයා මුදාහරින්නැයි ඉල්ලා සිටියේය.
ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අධිකරණයේ හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ නඩුවෙන් මුදා හැරීමට නියෝග කළේය.
සචිත්‍ර ගුණසේකර