මිලියන 13ක මත්ද්‍රව්‍ය තැපැල් හුවමාරුවේදී අල්ලයි


රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වෙළෙඳ පොළ වටිනාකමක් සහිත මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගුවන් තැපැල් ඔස්සේ ලැබී තිබූ පාර්සල් 11 ක් තුළ තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 01/04 දින සවස  සොයා ගෙන අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

මෙම පාර්සල් එංගලන්තය සහ ජර්මනිය යන රට වලින් කොළඹ , නුගේගොඩ , පානදුර , අනුරාධපුරය සහ මහනුවර යන ප්‍රදේශ වල පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබුණි .

මෙම පාර්සල් තුළ එක්ස්ටැසී හෙවත් මෙතැම්පටමයින් පෙති 1,055 ක් , " කුෂ් " නැමැති ගංජා ග්‍රෑම් 318 ක් සහ ගංජා ඇට 15 ක් ද තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ  නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණි .

මෙම අත් අඩංගුවට ගැනීම සදහා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවය කරන තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින් ද සහාය දක්වා තිබුණි .

පසුව මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

2023 වසරේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් රුපියල් බිලියන දෙකහමාරක් වටිනා මත්ද්‍රව්‍ය වැටලීම් 81 ක් සිදු කර තිබේ.



Recommended Articles