මැදපෙරදිග සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට


මැදපෙරදිග , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිංසා , පීඩා වලට ලක් වී , යළි සියරට වෙත පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 389 දෙනෙකු අද දින අලුයම ගුවන් යානා 02 කින්  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ශ්‍රී ලංකා රජය, විදේශ ගත ශ්‍රමිකයන් ප්‍රශ්න වලට ලක් වී යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල අසරණ වී සිටින පිරිස එකතු කර , කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙසේ අද දින ගෙන්වා ගෙන තිබුණි .

මෙයින් පළමු ගුවන් යානය අද ද අලුයම 4.00 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 238  දෙනෙකු රැගෙන  ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 264 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට එරට මේ ආකාරයට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 151 දෙනෙකු රැගෙන , දෙවන ගුවන් යානය ලෙස අද දින අලුයම 4.55 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් පිරිස නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රජයේ නීරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබුණි.

 



Recommended Articles