මැදපෙරදිග සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට


කොරෝනා රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල් දෙකක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 88 දෙනෙකු මෙරට රජයේ විශේෂ අවසරය මත අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

අද දින අලුයම 12.40 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් 29 දෙනෙකු එරට අබුඩාබි නුවර සිට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 264 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එසේම අද දින අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 37 දෙනෙකු කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එමෙන්ම අද අලුයම  5.20 ට කටාර් රාජ්‍යයේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 22 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ගුවන් තොටුපළ වෙත පැමිණි ඔවුන් සියලු දෙනා කොළඹ සිට පැමිණ තිබූ පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල කීපයක් විසින් පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ .

 



Recommended Articles