මැක්ස්ගේ ඉවෙන් අත්හැර දැමූ ගමන් මල්ලක තිබූ රු. කෝටි 20ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය සොයා ගනියි


රුපියල් විසි කෝටි අනූ ලක්ෂයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ගමන් මලු පථයක් අසළ අත්හැර දැමූ ගමන් මල්ලක් තුළ තිබී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්තව සේවය කරන '' මැක්ස් " (Max ) නැමති නිල සුනඛයා විසින් සොයා ගැනීමෙන් පසු 09/06 දින සවස , එම ගමන් මල්ල රැගෙන ආ ගුවන් මගියා ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින්  අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම මත්ද්‍රව්‍යය තොගය සමග වූ ගමන් මල්ල ඉකුත් 06/28 දින උදෑසන 09.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ තිබුණි .

එහිදී එම ගමන් මල්ලේ හිමිකරු කිසියම් හේතුවක් නිසා බියට පත් වී සිය ගමන් මල්ල අතහැර කටුනායක ගුවන් තොටුපොළෙන් පළා ගොස් තිබේ .

මෙවැනි අත හැර දමා ඇති ගමන් මලු එක් සුවිශේෂී ගබඩාවක ගොඩ ගසා තබා තිබෙන අතර , එහි ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා , එහි තිබූ ගමන් මලු කීපයක් , එම ගබඩාව මෙන්ම ගමන් මලු පථය අසළ ගොඩ ගසා තිබී ඇත .

එම අවස්ථාවේදී එම ගමන් මලු පථය අසළ රාජකාරියේ නිරත වී සිටි , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිල සුනඛ 
" මැක්ස් " විසින් මෙම ගමන් මල්ල ඉව කර ,එය පහුරු ගාමින් බුරන්නට වී තිබේ .

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් එම ගමන් මල්ල අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී මෙම '' කුෂ්" මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වී තිබේ .

මෙම ගමන් මල්ලේ හිමිකරු ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු වන අතර 09/06  දින ඔහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ රැදී සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම ගමන් මල්ල තුළ '' කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 20 යි ග්‍රෑම් 900 ක් ඇසුරුම් 19 ක් ලෙස සකස් කර සගවා ගෙන තිබී ඇත .

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් මෙම ගුවන් මගියා සහ " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය 09/07 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .



Recommended Articles