- පාර්ලිමේන්තුවේ සංඥා භාෂා පරිවර්තන පහසුකම් පුළුල් කිරීමට පියවර
- පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ යෝජිත ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ සහයෝගයෙන් සිදු කිරීමට තීරණයක්
- මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීම ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරයන් සහ කාර්ය මණ්ඩලයට අදාළව නඩු කටයුතු සහ නීති උපදෙස් ලබා දීමේ සැලකියයුතු වර්ධනයක් දක්නට ලැබෙන බැවින් ඒ සඳහා අවශ්‍ය නීතිමය පහසුකම් සැලසීමේ අරමුණින් පාර්ලිමේන්තුව සඳහා නීති අංශයක් පිහිටුවීමට පාර්ලිමේන්තු කාර්යමණ්ඩලීය උපදේශක කාරක සභාව තීරණය කොට තිබේ. මෙම තීරණ ගනු ලැබුවේ උක්ත කාරක සභාව පසුගිය දා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධනත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.
එමෙන්ම, පාර්ලිමේන්තුව තුළ දැනට ක්‍රියාත්මක වන සංඥා භාෂා පරිවර්තන පහසුකම් තවදුරටත් පුළුල් කිරීමටද පාර්ලිමේන්තු කාර්යමණ්ඩලීය උපදේශක කාරක සභාව තීරණය කර තිබේ. ඒ අනුව ආබාධ සහිත පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ප්‍රාග්ධන ආයෝජන අරමුදලේ (Commonwealth Parliamentarians with Disabilities (CPwD) Capital Investment Fund) අනුග්‍රාහකත්වයෙන් පාර්ලිමේන්තු කාරක සභා කාමර අංක 05 සහ 06 සඳහා සංඥා භාෂා පරිවර්තන පහසුකම් ලබාදීමට නියමිතය.
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය. ඒ අනුව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වැහිපීලි ප්‍රතිසංස්කරණය කිරීම, ප්‍රධාන තඹ ද්වාරයේ ක්‍රියාකාරී යාන්ත්‍රණය නිවැරදි කිරීම, සනීපාරක්ෂක පහසුකම් පුළුල් කිරීම, පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීම, ගිනි අනාවරක පද්ධතියක් (Fire Detection System)ස්ථාපනය කිරීම ආදී කටයතු ප්‍රමුඛතා කාර්යයන් ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවේ හා ශ්‍රී ලංකා පොලීසියේ සහය ඇතිව සිදුකිරීමටද කාරක සභාව අනුමතිය ලබා දෙන ලදී.
ඊට අමතරව, මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ වැඩිදියුණු කිරිම් කටයුතු සඳහාද කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඒ අනුව, 2025 අයවැය ප්‍රතිපාදන සහ නියමිත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වලට අනුකූලව ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම කටයුතු සිදු කිරීමට නියමිතය.
සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල සැපයුම් පද්ධතියක් කථානායක නිල නිවසේ ස්ථාපිත කිරීමටද කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගයෙන් මෙම කටයුතු සිදු කිරීමට යෝජිත අතර පාර්ලිමේන්තු සැපයුම් සහ සේවා කාර්යාංශය මගින් නියමිත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වලට අනුකූලව විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඔස්සේ සූර්ය බල පද්ධති දෙකක් ස්ථාපනය කිරීමට නියමිතය.
එමෙන්ම, පාර්ලිමේන්තු පරිශ්‍රයට පිවිසෙන පින්නියර පිවිසුම් මාර්ගයේ ආරක්ෂක ගොඩනැගිලි සහ මාර්ග පුළුල් කිරීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබඳවද පාර්ලිමේන්තු කාර්යමණ්ඩලීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය.
උක්ත ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 67ක මුදලක් වෙන්කර තිබූ අතර කථානායකතුමාගේ උපදෙස් පරිදි ප්‍රධාන සැලසුමේ කරන ලද වෙස්කම් අනුව එම මුලද රුපියල් මිලියන 03 දක්වා අඩුකරන ලද අතර සහ එහි ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සිදු කිරීමට එහිදී තීරණය විය.
ඒ අනුව පින්නියර පිවිසුමේ ප්‍රධාන ගොඩනැගිල්ලට අමතරව ගරු මන්ත්‍රීවරයන්, කාර්ය මණ්ඩලය සහ අනෙකුත් පිවිසෙන්නන්ගේ ආරක්ෂක පිරික්සුම් කටයුතු කිරීම් සඳහා පහසුකම් සැලසීමට අමතර ආරක්ෂක කුටියක් ඉදිකිරීමටද අනුමතිය හිමිවිය.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක. 06/2006ට අනුව පාර්ලිමේන්තුවේ මහ ලේකම්ගේ කාර්ය මණ්ඩලයේ වැටුප් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සහ පහසුකම් නිර්නය කිරීම සඳහා ගරු කථානායකතුමාගේ උපදෙස් පරිදි ස්ථාපිත කරන ලද ත්‍රිපුද්ගල බාහිර විශේෂඥ කමිටුවට පහසුකම් සැලසීම සඳහා කමිටු ලේකම්, පරිගණක ක්‍රියාකරු, කළමණාකරණ සේවා සහායක යන තනතුරු ලබාදීමටද කාරක සභාවේ අනුමතිය හිමිවිය.
එමෙන්ම, පාර්ලිමේන්තුවට අයත් ශ්‍රාවස්ති මන්දිරය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදීම පිළිබඳවද පාර්ලිමේන්තු කාර්යමණ්ඩලීය උපදේශක කාරක සභාවේ අවධානය යොමුවිය. ඒ අනුව කිසියම් පාර්ශ්වයකට අයත් දේපළක් මෙම ශ්‍රාවස්ති ගොඩනැගිලි සංකීර්ණය තුළ මේ වන විටත් පවතින්නේ නම් ඒවා රැගෙන යාමට මාසයක කාලයක් ලබා දෙන බව දන්වා අදාළ පාර්ශ්ව වෙත සිහි කැඳවීම් ලිපි යොමු කරන ලෙස කාරක සභාව විසින් එහි ලේකම්වරියට උපදෙස් ලබා දෙනලදී.
ස්ථාවර නියෝග 121 (5) (I) යටතේ රජයේ මුදල් කාරක සභාව විසින් වාර්තා සකස් කිරීම සඳහා විශේෂඥ තාක්ෂණික සහයක් ලබා ගැනීම පිණිස ගෙවීමක් සිදුකිරීමටද පාර්ලිමේන්තු කාර්යමණ්ඩලීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය. එය රජයේ මුදල් කාරක සභාවේ විධිමත් අනුමතියට යටත්ව සිදුකරනු ඇත.