දළදා වහන්සේ වන්දනාමාන කිරීමට එක්වී පෝලිම්වල සිටින ජනතාව ආවරණය වන පරිදි පැය 24 පුරා සෞඛ්‍ය සුපරීක්ෂණ කණ්ඩායම් පත්කර ඇතැයි මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා කියයි.
ඒ අනුව අධික අව් රශ්මිය පවතින කාල වකවානුව හේතුවෙන් දිවා රැයේ විවිධ වයස් මට්ටම්වල පුද්ගලයන් දිගු කාල වේලාවක් ගත කරන අතරතුර ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය රැක ගැනීම සඳහා ඔවුන් ඉල්ලා සිටින අවස්ථාවන්වල හෝ එසේ නොමැතිව පවා ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් හා ප්‍රතිකාර සේවා ඔවුන් සිටින ස්ථානයටම කඩිනමින් ලබා දීම මෙම නව වැඩපිළිවෙළේ අරමුණ වේ.
මෙහිදී මෙම සෞඛ්‍ය සුපරීක්ෂණ කණ්ඩායම් අදාළ කලාපවල පිහිටුවා ඇති විශේෂ සෞඛ්‍ය මධ්‍යස්ථාන සමග නිරන්තරයෙන් සම්බන්ධීකරණය කෙරෙන අතර අවශ්‍ය අවස්ථාවල අදාළ පුද්ගලයන් සිටින ස්ථානය වෙත වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කණ්ඩායම ගෙන්වා ගැනීමත් අත්‍යවශ්‍ය විටක ගිලන් රථ වහාම කැඳවීමත් සිදුවේ.
ඒ අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ප්‍රදේශයේ ස්වෙච්ඡා සෞඛ්‍ය කණ්ඩායම් එක් කර මෙම සෞඛ්‍ය සුපරීක්ෂණ කණ්ඩායම් සකස් කර ඇත.මීට අමතරව ජනතාව එක්ව සිටින සියලු පෝලිම් ආවරණය වන පරිදි වරින් වර එම ස්ථානය පසු කරමින් සෞඛ්‍ය පණිවුඩ හා සෞඛ්‍ය ආරක්ෂාව පිණිස අවශ්‍ය කරුණු නිවේදනය කරමින් ප්‍රදේශය පුරා ජංගම සෞඛ්‍ය අධ්‍යාපන කණ්ඩායම් සැරිසරයි.
ඒවායේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන් සේවය කරන අතර වන්දනා කිරීමට යොමු කරන අවධානය සේම සිය සෞඛ්‍ය තත්වය ආරක්ෂා කර ගැනීමටත් යොමු කළ යුතු බව අවධාරණය කෙරේ.
විශේෂයෙන් දීර්ඝ කාලීනව ඖෂධ ලබා ගත යුතු රෝගවලින් පෙළෙන පුද්ගලයන් හා වැඩිහිටියන්,ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගේ සෞඛ්‍ය තත්වය රැක ගැනීමට පවුලේ අනෙක් සාමාජිකයන්ගේත් පෝලිම්වල රැඳී ඔවුන් අවට සිටින අනෙක් පුද්ගලයන්ගේත් අවධානය යොමු කිරීමද වැදගත් ය.