මහනුවර මහ නගර සභාවේ මහජන නියෝජිතයන් සඳහා ලබා දෙනු ලැබූ දුරකථන ගාස්තු දීමනාව අවලංගු කිරීමට සභාවේ එකඟතාවය ලැබී තිබේ.
2010 වසරේදී සභා සම්මතයකට අනුව මහනුවර මහ නගර සභාවේ නගරාධිපතිවරයා සඳහා 20,000ක දුරකථන දීමනාවක්ද නියෝජ්‍ය නගරාධිපතිවරයා සඳහා රුපියල් 15,000ක දුරකථන දීමනාවක්ද සෙසු මන්ත්‍රීන් සඳහා රුපියල් 10,000ක දුරකථන දීමනාවක්ද ගෙවීමට සභා සම්මතයක් ලැබී තිබුණි.
ඒ අනුව පසුගිය වර සභාව රැස්වූ අවස්ථාවේදී එම දුරකථන දීමනාව සම්බන්ධයෙන් ඇති වූ කතාබහේදී පොදු ජන පෙරමුණු මන්ත්‍රී ලසන්ත බණ්ඩාර මහතා එම දුරකථන දීමනාව අනවශ්‍ය බවට ප්‍රකාශ කිරීමෙන් පසු එය සභා සම්මත විය.
ඒ අනුව මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් 46 දෙනකු සඳහා ගෙවනු ලැබූ දුරකථන දීමනාව අහෝසි වී තිබේ.