මන්ත්‍රී අජිත් පී පෙරේරාට පාර්ලිමේන්තුවේ සභාපති තනතුරක්


යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා තේරී පත්විය.

ඊයේ (27) පාර්ලිමේන්තුවේ පැවති දසවැනි පාර්ලිමේන්තුවට අදාළ එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ පළමු රැස්වීමේදී මෙම තෝරා පත් කරගැනීම සිදුවිය.

මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබාදීමට මීට පෙර ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර එකඟත්වය පළවී තිබිණි.

ඒ අනුව සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් යෝජනා කරන ලදුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන මහතා විසින් ස්ථිර කරන ලදී.

අනතුරුව ලබන ජූනි 05 වැනිදා පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීමේ විවාදයට ගැනීමට නියමිතව ඇති ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත මෙහිදී සාකච්ඡාවට ගැනුණු අතර ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන කිහිපයක නිලධාරීහු ඊට සහභාගී වූහ.

ගමනාගමන කොමිෂන් සභාව දීර්ඝ කාලයක් මුළුල්ලේ මුහුණ දුන් ප්‍රායෝගික ගැටලුවලට විසදුම් සඳහා ප්‍රතිපාදන ඇතුළත් කරමින් මෙම සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කළ බව නිලධාරීහු මෙහිදී පැවසූ අතර ඊට කාරක සභාවේ අනුමතිය හිමිවිය. ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුවිය විය යුතු මූලික වෙනස්කම් පිළිබඳව ද මූලික කරුණු මෙහිදී සාකච්ඡා විය.

 



Recommended Articles