"රටම එකට" ජාතික මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු, ඊට පෙර වසරවලට සාපේක්ෂව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්ථාපනය සඳහා යොමුවීම 65%කින් වර්ධනය වී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් කේ.කේ.එස්. කොතලාවල මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (10) "රටම එකට" ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එම හමුවේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කෙරිණි.
කොතලාවල මහතා සඳහන් කළේ, පාසල් පද්ධතිය සහ තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වන බවයි.
තවද, පුනරුත්ථාපන උපදේශන සේවා ශක්තිමත් කිරීම සඳහා උපදේශකයින් 37 දෙනෙකු බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය.
මත්ද්‍රව්‍ය සම්බන්ධ උපදේශන සහ සහාය සේවා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ 1927 දුරකථන අංකය ඔස්සේ ලබාගත හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

