මත්ද්‍රව්‍යට එරෙහිව කටයුතු කිරීම සඳහා ආණ්ඩුව සහ තමා තීරණාත්මක තීන්දුවක් ගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල ‘රටම එකට ’ ජාතික මෙහෙයුම වැඩසටහනේ සමාරම්භක උත්සවය මේ වන විට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර, එහිදී උත්සව සභාව අමතමින ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
“අපේ දරු පරම්පරාව, පොදු සමාජය අපි ජාතියක් හැටියට මේ මායාකාරී ව්‍යසනයේ කුණාටුවේ ගොදුරු බවට පත්වෙමින් තිබෙනවා. මෙය අද මේ මොහොතේ ඇති වුණු අභියෝගයක් නෙවෙයි. දශක ගණනාවක් ක්‍රමිකව වර්ධනය වුණු මේ අභියෝගය මුළු සමාජ දේහයම ගිල ගන්න තැතිගන්වන තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. මේ මංසන්දියේදී අපට තෝරාගන්න මාර්ග දෙකක් තිබෙනවා. එකක් පැරණි මේ දේ මේ විදියටම වෙන්න ඉඩ දී පාඩුවේ බලන් යමක් කරමින් සිටීම. එහෙම නැතිනම් දෙවැනි මාවත මෙයට එරෙහිව හැප්පෙන එක. මමත් අපේ ආණ්ඩුවත් මේකට එරෙහිව හැප්පෙන්න තීරණාත්මක තීන්දුවක් අරන් තිබෙනවා. ”

