මත්තලට ගිය ගුවන් යානය නැවතත් කටුනායකට


කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට මහ වැසි ඇඳ  හැලිමට පටන් ගෙන ඇති නිසා , එම ගුවන් තොටුපළ වෙත අද (24)  දින උදෑසන ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ .

අද  දින උදෑසන 8.50 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමෙන් පසුව , උදෑසන 9.30 ට එහි ගොඩබස්වා තිබේ .

එම ගුවන් යානයේ ගුවන් මගීන් 127 ක් සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු සිටියහ . ඔවුන්ට මෙම ගුවන් යානයෙන් පිටතට බැසීමට අවසර නොදුන් මත්තල ගුවන් තොටුපළ බලධාරීන් , මෙම ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබා දීමට පියවර ගෙන තිබුණි .

පසුව කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ කාලගුණික තත්ත්වය මදක් යහපත් වූ පසු මෙම ගුවන් යානය දහවල් 11.40 ට මත්තල ගුවන් තොටුපළෙන් පිටත් වූ අතර , එය දහවල් 12.05 ට  පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා විය .

කටුනායක - ටි.කේ.පි කපිල



Recommended Articles