මත් පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී අත් අඩංගුවට


 

රුපියල් දෙකෝටි දෙලක්ෂ හතලිස් දහසක් (20,240,000/=) ක් වටිනා මෙතැම්පටමයින් නැමැති භයානක මත්ද්‍රව්‍ය පෙති 4,048 ක් සූක්ෂම ලෙස සගවා , ත්‍යාගයක් සේ පාර්සල් කර ප්‍රංශයේ සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 10/20 දින රාත්‍රී  එය භාර ගැනීමට පැමිණි කාන්තාවක ද සමග අත් අඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .

කොළඹ , දෙහිවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවකගේ නමට මෙම පාර්සලය එවා තිබූ අතර , ඇය මෙම පාර්සලය භාර ගැනීමට පැමිණෙන තෙක් බලා සිට රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .

මෙම පාර්සලය තුළ රෙදි වලින් නිෂ්පාදිත අකුලා , නැවිය හැකි පාවහන් අසුරණයක් තුළ , මෙම එක්ස්ටසි (Ecstasy ) නමින් ව්‍යවහාරයේ හදුන්වන මෙම මත් පෙති තොගය සගවා තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය .

මෙම මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා අඩංගු පාර්සලය භාර ගැනීමට පැමිණි කාන්තාව ද රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු  සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

කටුනායක ටී.කේ.ජී.කපිල 



Recommended Articles