බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගිය 23ක් ගුවනින් කටුනායකට


නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීම සදහා බහු දින ධීවර යාත්‍රාවකින්  ගමන් ගනිමින් සිටි ශ්‍රී ලාංකිකයන් 23 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ වෙරළාරක්ෂක බළකායේ නෞකාවක් මගින් අත් අඩංගුවට ගෙන පසුව ක්‍රිස්මස් දූපත වෙත රැගෙන ගොස් , එතැන් සිට  අද(20දා)  අලුයම පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

මොවුන් ඉකුත් මැයි මස 27 දින වෙන්නප්පුව කොස්වාඩිය ප්‍රදේශයෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබුණි.

මෙම ශ්‍රී ලාංකිකයන් 23 දෙනා අතරින් එක් අයෙකු කාන්තාවක් වන අතර , මොවුන් මීගමුව , කොස්වාඩිය සහ මූතූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් වූහ.

මෙම පිරිස රැගත් බහුදින ධීවර යාත්‍රාව ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවට ආසන්න වනවිට එරට වෙරළාරක්ෂක බළකායේ නෞකාවක් විසින් අත් අඩංගුවට ගෙන එහි රදවා තබාගෙන සිටි මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ඊ‍යේ (19දා)  රාත්‍රී ක්‍රිස්මස් දූපත වෙත රැගෙන ගොස් මෙසේ ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කර තිබුණි .

වර්තමානයේ මෙසේ නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණෙන පිරිස් අත් අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපත තුළ රදවා ගැනීම සිදු නොකිරීමට එරට බලධාරීන් පියවර ගනිමින් තිබේ .

මෙසේ පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් පිරිස අද(20දා) දින අලුයම 03.50 ට ඕස්ට්‍රේලියාවට අයත් ඒ.එස්.වයි.- 977 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අතර , ඔවුන් මෙම ගුවන් යානයේ සිටි 50 දෙනෙකුගෙන් යුතු  ඕස්ට්‍රේලියානු ආරක්ෂක භට පිරිස් වෙතින් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස භාර ගැනීමට කටයුතු කර තිබුණි .

පසුව මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගෙන මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .



Recommended Articles