බොරතෙල් නැව දෙකකට ඩොලර් ගෙවීමට නොහැකි වීම නිසා දිනකට ඩොලර් ලක්‍ෂ 03ක් ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුව ඇති බවත්, මේ වනවිට මෙම නැව් දෙක මෙරටට පැමිණ දින 04ක් ගත වී තිබෙන බව ඉන්ධන, විදුලි, වරාය සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
එක් නැවකට ප්‍රමාද ගාස්තු වශයෙන් දිනකට ඩොලර් එක් ලක්‍ෂ පනස්දහසක මුදලක් ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුවන බවත්, මීට පෙර පැමිණි බොරතෙල් නැවට දින 55ක ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වූ බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය.
මීට පෙරත් බොරතෙල් නැව් හා ඉන්ධන නැව් සඳහා විශාල ප්‍රමාද ගාස්තු ප්‍රමාණයක් ගෙවා තිබෙන බවත්, මේ අනුව බොරතෙල් නැව් ඉන්ධන නැව් මෙරටට ගෙන්වා ප්‍රමාද ගාස්තු ගෙවීම මේ වනවිට ජාවාරම් ක්‍රියාවක් බවට පත් වෙමින් තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
බොරතෙල් නොමැති වීම නිසා පිරිපහදුව වසා දමා අදට (06දා) දින 58ක් ගත වී තිබෙන බවත්, මීට දින 20කට පෙර බොරතෙල් මෙට්‍රික්ටොන් 99,000 ගොඩබා තිබුණද තවමත් පිරිපහදුව ආරම්භ කර නොමැති බවත් ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කළේය.
එසේ තිබියදී මෙට්‍රික්ටොන් 95,000 හා 96,000 වශයෙන් බොරතෙල් නැව් දෙකක් මෙරටට ගෙන්වා තිබෙන බවත්, මෙම නැව් දෙකට ඩොලර් ගෙවීම කළත්, නැව දෙකකම එකවර ගොඩබෑමට ප්‍රමාණවත් ටැංකි රට තුළ නොමැති බවත් හෙතෙම පැවසීය.
ඔරුගොඩවත්ත හා සපුගස්කන්ද ටැංකිවලට බොරතෙල් ගොඩබෑම් සිදුකරන බවත්, මේ වනවිට ඔරුගොඩවත්ත ටැංකි සංකීර්ණයේ එක් ටැංකියක් අලුත්වැඩියා කටයුතු කරන අතර, මීට අමතරව මෙම සංකීර්ණ දෙකේ ටැංකිවල බොරතෙල් හා ප්‍රමිතියෙන් තොර දැවිතෙල් හා ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් ගොඩගසා තිබෙන බවද ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.
පවතින තත්ත්වය තුළ හිස් ටැංකිවලට ගබඩා කළ හැකි වන්නේ, මෙට්‍රික්ටොන් එක් ලක්‍ෂ තිස් දහසකට ආසන්න බොරතෙල් ප්‍රමාණයක් බවත්, එහෙත් මෙම නැව දෙකේ බොරතෙල් මෙට්‍රික්ටොන් එක් ලක්‍ෂ අනූඑක්දහසක් පමණ තිබෙන බවත් පවසා සිටි ඒ මහතා, මේ නිසා කඩිනමින් පිරිපහදුව ආරම්භ කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.