බෙන්තොට අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේදි උණුසුම් තත්ත්වයක්


ලංකාවේ පසිද්ධ සංචාරක පුරවරයක්වූ බෙන්තොට වෙරළ තීරයේ තිබූ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීම  වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) උදේ  ආරම්භ කළේය.

බැකෝ යන්ත්‍ර ආධාරයෙන් මේ  අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම ආරම්භ කිරීමත් සමගම පිරිසක් ඊට එරෙහිව විරෝධතා දැක්වීමත්  සමග එම ස්ථානයේ  ඉතා උණුසුම් තත්වයක් ද හට ගත්තේය.

බෙන්තොට වෙරළේ  තිබූ අනවසර ගොඩනැගිලි සහ ඉදිකිරීම් සියල්ල දින  හතක් ඇතුළත ගලවා ඉවත් කරගන්නා ලෙස ගිය වසරේ අප්‍රේල් මාසයේ සියලුම සංචාරක මාර්ගෝපදේශක සහ සංචාරක වයාපාරයේ නියැළි සිටින අයට   වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් කර තිබුණේය.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෙරළ තීරයේ තිබූ ගොඩනැගිලි ඉවත්කිරීම ආරම්භ කළ  අවස්ථාවේදී සංචාරක මාර්ග උපදේශකයන් සහ සංචාරක වයාපාරයේ නියැලී සිටි  පිරිසක්  විසින් විරෝධතාවක් ඉදිරිපත් කළහ.

ඊට එරෙහිව බෙන්තොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජන්ත පුෂ්පකුමාර මහතා විසින් එම පිරිසට නීතිමය  තත්වය පැහැදිලි කර දීමෙන් පසු පිරිස ඉවත්ව ගියහ.

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ පිටිගල ඩී.ජේ.විජේසිංහ

 



Recommended Articles