BYD මෝටර් රථ වල මෝටරය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුව ජාත්‍යන්තරව පිළිගත් ආයතනයක් හරහා පරික්ෂා කර විසඳා ගත යුතු බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මීට පෙර චීනයෙන් පොහොර ආනයනයේදී ඇති කරගත් ගැටළුව මෙන් ගැටළුවක් චීනයේ නිශ්පාදිත BYDමෝටර් රථ ගෙන්වීමේදී ඇති කර නොගත යුතු බව සභාපතිවරයා නිලධාරීන්ට අවධාරණය කළේය.
කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා - BYD ප්‍රශ්නය මෙතනත් මතු වුණා. කරුණාකරලා අපිට දැනුවත් කරනවාද මෙතන මොනවාද වෙලා තියෙන්නේ කියලා.
අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ - ආනයනය කරන විට වාහන වල මෝටර් ධාරිතාව අඩුවෙන් දක්වා ඇති බවට චෝදනාවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂනයක් ආරම්භ කරලා තියෙනවා.
කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ - බදු ව්‍යුහයේ වෙනස් කර ගැනීමට මෝටර් ධාර්තාව වෙනස් කර තිබෙනවා. සැබෑ ධාරිතාව ප්‍රකාශයට පත් කරන්නේ නැතිව. ඒක තමයි චෝදනාව.
කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා - මේ චෝදනාව ගේන්නේ මේ රටේ තිබෙන ප්‍රධානතම ආයතනයට විරුද්ධව. මේ ගැන පළවුනු ආටිකල් එකක් මම කියෙව්වා. සමහර රටවල් වල , සිංගප්පූරුවේ, නේපාලයේ, ලංකාවේ බදු ව්‍යූහයන් තියෙන නිසා ඒවා බදු ව්‍යූහයට සරිලන විදියට බදු අඩු කරන විදියට තමයි ඔවුන් ඒ එන්ජින් කැපෑසිටි එක හදලා තියෙන්නේ.
BYD කියන වාහනේ කිලෝවොට් 150ට සමහර රටවල් වලට යනවා. ඒ වාහනයම කිලෝවොට් 100ට අනිත් රටවල් වලට යනවා. මට තියෙන ප්‍රශ්නය තමයි අපිට මේක 100ද 150ද කියන එක හොයාගන්න මොකක් හරි ජාත්‍යන්තරය පිළිගත්ත තාක්ෂණික ක්‍රමවේදයක් ඇතිනේ. අපිට තියෙනවාද එහෙම ජාත්‍යන්තරව පිළිගන්න පුළුවන් තාක්ෂණික ක්‍රමවේදයක් මේක පරික්ෂා කරන්න?
අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ – අපි ඒක තමයි බලාගෙන යන්නේ. මෝටර් එකේ කැපෑසිටි එකනේ බලන්නේ. මම හිතන්නේ නෑ ඒක පරික්ෂා කරලා බලන්න අපිට ලොකු ඉෂු එකක් ඇතිවෙයි කියලා. අපි දැන් පරීක්ෂනයක් කරගෙන යනවා. ඔවුන්ගේ අවශ්‍ය සහය අපිට ඉක්මනින් ලැබෙන්නේ නෑ. අපිට හදිස්සියක් තිබුණට. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි කිව්වේ මෝටර් එක චෙක් කරමු කියලා. ඒකට ඔවුන් කියනවා මෝටරය වාහනයෙන් ගලවන්න ඕනී, ඒකට ගැලවීමේ ක්‍රමයක් තියෙනවා, ඒකට විශේෂඥයන් එන්න ඕනි කියලා කියනවා. ඒ විදිය ප්‍රමාදයන් තමයි තියෙන්නේ.
කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා - කවුද තාක්ෂණ ඇගයීම කරන්නේ?
අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ – ආනයනකරුවන් පිළිගත් ආයතන නිර්දේශ කරනවා කියනවා. අපි නම් යන්නේ මොරටුව විශ්විද්‍යාලයට.
කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා - මේ දේ පොහොර එකෙත් වුණා. මේ සභාවෙම මේ ප්‍රශ්නය ඇදිලා ආවා. කවුද ජාත්‍යන්තරව පිළිගත්තේ? ලංකාවෙන් එකක් දුන්නා. සිංගප්පූරුවෙන් එකක් දුන්නා. අන්තිමට මේක මහා ලොකු නඩුවක් විදියට ගියා. ජාත්‍යන්තරව පිළිගත් තැනකින් කළොත් නෙවෙයිද, මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක්නේ. මේකට චීනය සම්බන්ධයි.
මේ චීනයේ හදන වාහන. එකපාරක් චීනයේ හදපු පොහොර ගෙනාවා. ගෙනල්ලා අපි කිව්වා මේක භාරගන්න බෑ කියලා. ඔවුන් ඊට පස්සේ සිංගප්පූරුවෙන් එකක් දුන්නා. ඒකේ තියෙනවා ඇයි භාරගන්න බැරි, මේ පරීක්ෂනයේ හැටියට භාරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ආණ්ඩුවට මහා ලොකු විදමක් ගෙවන්න වුණා. ඒ නිසා රෑ වැටුනු වලේ දවල් වැටෙන්න එපා. ජාත්‍යන්තරව පිළිගත් ආයතනයකින් මෙය කළ යුතුයි කියලා මම නම් විශ්වාස කරනවා.
අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ – අපි ඒ නියෝගය පිළිපදින්නම්.
කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා - තව රටක් සමග ප්‍රශ්නයක් ඇති කර ගන්න එපා. හරියට ටෙස්ට් කරලා ඒ තීරණය ගන්න. මොරටුව විශ්විද්‍යාලයේ පරීක්ෂණ ජාත්‍යන්තරව පිළිගන්නවා නම් ගැටළුවක් නෑ. නැත්තන් ඒක අවුලක් වෙනවා. වැරැද්දක් කරලා තියෙනවා නම් වැරදියි. නැත්නම් නිදහස්.