බිත්තරේ උඩ යයි


බිත්තර මිල මේ සතියේ රුපියල් දෙකකින් ඉහළ දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ඊයේ(28දා) පැවති මිල තීරණය කළ කමිටුවේදී පියවරගෙන ඇතැයි එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසයි.

ඒ අනුව රුපියල් 24කට තිබූ සුදු බිත්තරයක ගොවිපළ මිල රුපියල් 26ක් ලෙසත් රතු බිත්තරයක ගොවිපළ මිල රුපියල් 28ක් ලෙසත් එහිදී ප‍්‍රකාශයට පත් කෙරිණ. බිත්තර තොග මිල නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර තිබූ බිත්තර තොග මිල අනුව  සුදු හා රතු බිත්තර පිළිවෙළින් රුපියල් 29ක් හා රු.31කි. 

ගොවීන් ඉතාම පීඩනයට ලක් කරමින් බිත්තර මිල මාසයකට වැඩි කාලයක් ඉතාම පහතට එමින් තිබෙන අතරතුර ගොවිපළවල සිටි වයස්ගත සතුන් ඉවත් කිරීම නිසා බිත්තර අතිරික්තය සමනය වෙමින් ඉල්ලුමක් සෑදුණ බවත් සියලුම ගොවි මහතුන් එකාවන්ව එක තීරණයක සිට දැක්වූ සහයෝගය මෙන්ම සංගමය විසින් නියම කළ රුපියල් 26න් පහත කිසිම ගොවි මහතෙකු විසින් වෙළෙඳුන්ට ලබා නොදුන හොත් තවත් පියවරක් ඉදිරියට යාහැකි බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති වරයා එහිදී මාධ්‍යයට කරුණු දැක්වීය.

මෙහිදී බිත්තරය ඉතා ඉක්මණින් නරක්වන භාණ්ඩයක් නිසා කුඩා, මධ්‍ය හා මහා පරිමාණ ලෙසින් බෙදීමකින් තොරවම කඩිනමින් අලෙවි කර පාරිභෝගික ජනතාවට පිරිසිදු බිත්තරයක් දීම සම්බන්ධයෙන්ද සලකා මෙම මිල තීරණය කළ බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. ඒ අනුව ඉදිරියේදී නිෂ්පාදන වියදම රුපියල් 31ක් 32ක් දක්වා මිල පවත්වාගෙන රුපියල් 35ට 37ට පාරිභෝගිකයන්ටත් සාධාරණයක් වන ලෙස  මිල පවත්වාගත යුතු බවත් සභාපතිවරයා එහිදී තවදුරටත් පැවසීය.

කුලියාපිටිය දිනේෂ් උපේන්‍ද්‍ර



Recommended Articles