බැසිල්ගේ බිරිඳගේ පදනමට ලක්ෂ 194ක් දීම අල්ලසක් නෙමෙයි - CICT


හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පාරාජපක්ෂ මහත්මියගේ පදනමට (පුෂ්පා රාජපකෂ පදනම) රුපියල් 19,410,000 (රුපියල් එක්කෝටි අනූහතර ලක්ෂ දසදහසක මුදලක්) (ඩොලර් 150,000) ලබාදුන්නේ ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ යහපත් චේතනාවෙන් බව කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) සඳහන් කරයි.

චීනයේ සී.එම්. පෝර්ට් (CM Port) සමාගම මගින් කළමනාකරණය කරන කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය පුෂ්පා රාජපක්ෂ පදනමට රුපියල් ලක්ෂ 194කට අධික මුදලක් ලබාදී ඇති බවට පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාද සඳහන් කළේය.

එය කිසිසේත්ම අල්ලසක් නොවන බවත්, එය සමාගමේ විගණන වාර්තාවලට පවා ඇතුළත් කර ඇති බවත් කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය අද (12දා) නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එසේම මේ පිළිබඳ මීට වසර තුනකට පෙර විමර්ශනයක් ආරම්භ කර ඇති බවද, නැවත වරක් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළ වන හෙයින් තම සමාගමේ සමාජ වගකීම්වල කොටසක් ලෙස මෙම මුදල් ලබාදුන් බවට නැවත වරක් ප්‍රකාශ කරන බවද සමාගම පවසයි.

මේ පිළිබඳ විමර්ශනය කරන ආයතන වෙත අවශ්‍ය සියලු තොරතුරු ලබාදී ඇති බවත්, කොළඹ වරායේ දකුණු පර්යන්තය ඉදිකිරීමට අදාළ එකඟතාවට පැමිණීමෙන් බොහෝ කාලයකට පසුව අදාළ මුදල පරිත්‍යාග කළ බවත්, ඒ වනවිටත් ඉදිකිරීම් කටයුතු ආරම්භ වී තිබුණු බවත් සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.



Recommended Articles