බැසිල් ඇමෙරිකාවේදී පුටුවකින් වැටුණ නිසා නඩුවට එන්න බැරි වෙලා


මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශූද්ධීකරණ පනත යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයට නොපැමීණියේ ඇමරිකාවේ දී පුටුවකින් ඇද වැටී සිදු වු අනතුරක් හේතුවෙන් බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා අද (23) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දී ප්‍රකාශ කළේය.

ඒ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඉදිරියේ දී මෙම නඩුව කැදවු අවස්ථාවේ දීය. ඒ අනුව අමෙරිකාවේ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලබන නොවැම්බර් 21 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින්නැයි මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග කළේය.

නීති විරෝධි ක්‍රියාකාරකමකින් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 500ක් යොදවා මාතර බ්‍රවුන්ස්හිල්හි අක්කර එකහාමාරක ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහීව මෙම නඩුව පවරා තිබුණි.

එහිදී ඇප මත මුදා හැර සිටින සැකකරුවන් දෙදෙනෙකු අධිකරණයේ පෙනී සිටි අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලප්පත්ති මහත්මිය අධිකරණයේ පෙනී නොසිටියේය.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය සැකකාර බැසිල් රාජපක්ෂ මහතාගේ ඇප අවලංගු කරන ලෙසට මෙසේ ඉල්ලා සිටියේය.

"ස්වාමිනි, මෙම නඩුවේ තුන්වන සැකකරු වන බැසිල් රාජපක්ෂට 2024 සැප්තැම්බර් 18 විදේශ ගතවීමට අවසර ලබා දී ඇත්තේ අද දක්වා පමණයි. එවැනි පසුබිමක ඔහු අද අධිකරණයේ පෙනී සිටින්නේ නැහැ. එබැවින් සාධාරණ හේතු දැක්වීමකින් තොරව අධිකරණය මඟහැරීම සම්බන්ධයෙන් ඔහුගේ ඇප අවලංගු කර වරෙන්තු නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා . "

සැකකාර බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා ඊට පිලිතුරු දෙමින් මෙසේ කීය.

"ස්වාමිනි, මගේ සේවාදායකයා මැයි 18 සහ 19 යළි මෙරටට එන්න ගුවන් ටිකට් පත් වෙන් කරලයි තිබුණේ. නමුත් අමෙරිකාවේ සිටින ඔහු පුටුවකින් ඇඳ වැටිලා අනතුරකට ලක්වෙලා ගෙල සහ ස්නායු ආශ්‍රිතව ආබාධ මතුවෙලා. මාස 06ක් ගුවන් ගමන්වල යෙදෙන්න එපා කියලා අමෙරිකාවේ වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා. "

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවේ එම වෛද්‍ය වාර්තාවල පරස්පරතා ඇති බවයි.ඇය මෙසේද කීවාය.
"ස්වාමිනි, මේ එක්ස් රේ වාර්තා බලපුවාම බෙල්ලේ උලුක්කුවක්, වැරදි ඉරියව්වක් නිසා මාංශ පේෂිවල සුළු ඇදීමක් පිළිබඳ විතරයි සටහන් වෙන්නේ. එසේම එය සතියකින් දෙකකින් සුවවෙන බවට වෛද්‍යවරු පවසා තිබෙනවා.

වෛද්‍ය වාර්තා නිකුත් වී ඇත්තේ 2025 මාර්තු 18. ඔය කියන විදිහට මාස 06ක් ගුවන් ගමන්වලින් වලකින්න කියලා වෛද්‍ය නිර්දේශයක් තිබුණානම් ඇයි මැයි 18, 19 ගුවන් ටිකට්පත් වෙන් කළේ. එම නිසා ස්වාමිනි මෙම වෛද්‍ය වාර්තා පිළිනොගෙන සැකකරුගේ ඇප අවලංගු කරන ලෙස මා ඉල්ලා සිටිනවා. "

බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා ඊට ප්‍රතිචාර දක්වමින් මෙසේ කීය.

"ස්වාමිනි, මගේ සේවාදායකයා ලෙඩක් නැතුවත් ආවේ නැහැ කියලා පෙන්වන්න හදන්නේ හොරෙක් කියලා ද? නමුත් මේවා අමෙරිකාවේ වෛද්‍ය වාර්තා. අපේ වෛද්‍යවරු වගේ හොරු නැහැ. ඊළඟ නඩු දිනයේ මගේ සේවාදායකයා අධිකරණයට පැමිණෙනවා. "

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලු මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මෙඒ කීය.

"මේ නඩුව දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණයේ සලකා බැලෙන නඩුවක්. එකී කාලය පුරාවටම සැකකරු අධිකරණයේ පෙනී සිට තිබෙනවා. ඒ නිසා ඇප අවලංගු කිරීමක් හෝ වරෙන්තු නිකුත් කිරීමක් කරන්නේ නැහැ. ඒ අනුව ඉදිරි නඩු දිනයේ අධිකරණයේ පෙනීසිටින ලෙස සැකකාර බැසිල් රාජපක්ෂට නියෝග කරනවා.” මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන නොවැම්බර් මස 21 වැනිදා දක්වා කල් තැබිණි.

ක්‍රිෂාන් ජීවක ජයරුක්

 



Recommended Articles