බැංගලෝර් යන්න ගිය ශ්‍රී ලන්කන් යානය විනාඩි 40කින් ආපසු එයි


ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් 03/19 දින අලුයම පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා  විනාඩි 40 ක ගුවන් ගමනකින් පසුව ආපසු යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට සිදු වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 173 දරන ගුවන් යානය 03/19 දින අලුයම 01.10 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා පිටත්ව ගොස් තිබුණි.

මේ ගුවන් ගමන සදහා ඒ.- 320 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එහි ගුවන් මගීන් 85 දෙනෙකු ද ගමන් කර තිබුණි.

මෙම ගුවන් යානයේ සමතුලිතතාවය පවත්වා ගෙන යන පද්ධතියේ හට ගත් කාර්මික දෝශයක් නිසා විනාඩි 40 ක ගුවන් ගමනකින් අනතුරුව 03/19 දින අලුයම 01.50 ට යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත " හදිසි " ගොඩ බැස්සවීමක් ප්‍රකාශයට පත් කර ගොඩ බස්සවා තිබුණි.

මෙම ගුවන් යානය තුළ ගමන් කළ ගුවන් මගීන් වෙනත් විකල්ප ගුවන් යානා මගින් ඉන්දියාවේ බැංගලෝර් නුවර ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි.



Recommended Articles