බස්නාහිරින් පිටතට යන අය අහඹු ඇන්ටිජන් පරීක්ෂණයට


බස්නාහිර පළාතෙන් වාහන මගින් පිටව යන මගීන් දංඕවිට සහ කොච්චිකඩේ , තෝප්පුව පාළම අසළ දී අහඹු ඇන්ටිජන් රැපීඩ් පරීක්ෂණ සිදු කිරීමට අද (18දා) උදෑසන සිට  පියවර ගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය. 
 
දංඕවිට ප්‍රදේශයේ සිදු කළ  පරීක්ෂණ වලදී එක් අයෙකු කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇති අතර ඔහු දිවුලපිටිය රෝහලටත් , තෝප්පුව ප්‍රදේශයේ සිදු කළ ඇන්ටිජන් රැපීඩ් පරීක්ෂණ වලදී 03 දෙනෙකුත් සොයාගෙන ඇති අතර ඔවුන් මිනුවන්ගොඩ රෝහල වෙතත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය.
 
එමෙන්ම දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පිහිටි කුමාරිමුල්ල නැමැති ග්‍රාම නිලධාරී වසම තුළ කොරෝනා වෛරසය අසාමාන්‍ය ලෙස ව්‍යාප්ත වන බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් , මෙම ප්‍රදේශය හුදෙකලා කරන ලෙස ගම්පහ දිසාපතිවරයා සහ ආරක්ෂක ප්‍රධානීන් වෙත ඉල්ලීමක් සිදු කර ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය .
 
අද සවස 4.00 න්  අවසන් පැය 24 ක කාළය තුළ ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 117 දෙනෙකු වාර්තා වී  ඇති අතර , ඒ අතරින් අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 26 දෙනෙකු ද , වත්තල කොට්ඨාසයෙන් 24 දෙනෙකු ද , රාගම කොට්ඨාසයෙන් 19 දෙනෙකු ද , දොම්පේ කොට්ඨාසයෙන් 16 දෙනෙකු ද සොයාගෙන ඇති බව වෛද්‍ය මිගාර ඈපා මහතා වැඩිදුරටත් පැවසීය .
 
           


Recommended Articles