බඹරකන්ද යාල තැන්න වනයේ අතරමංව සිටි යුවළ බේරා ගැනෙයි


හල්දුම්මුල්ල බඹරකන්ද යාල තැන්න දිය ඇල්ල අසල වනයේ දින දෙකක් අතරමංව සිටි යුවළක් අද (11දා) සවස පොලිසිය ජී. පී. එස්.  තාක්ෂණය ඔස්සේ කැලෑවට ගොස් සොයාගෙන නිරුපද්‍රිතව බේරාගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.

මෙසේ බේරාගෙන ඇත්තේ කරුවලගස්වැව නෙළුම්වැව නවෝද්‍ය මධුරංග (24) සහ තමුත්තේගම සෙවුවන්දි සංදීපනී (23) යන නවක විවාහක යුවලක් බවද පොලිසිය කියයි.

 අතරමංව සිටි නවෝද්‍ය තරංග  තමා මුහුණ දුන් බිහිසුණු අත්දැකීම මෙසේ විස්තර කළේය. "අට වැනි දින අපි ගෙදරින් ආවේ. අපි විවාහ වෙලා මාස තුනක් විතර වෙනවා.අපි  ඇවිත්  බඹරකන්ද වංගෙඩිගල ආශ්‍රිතව කූඩාරම් ගසා ගෙන සිටියා.

ඒ අතර තැනින් තැනට අපි මාරු උනා .ඒ අතරතුර අපි කැලෑවේ අතරමං උනා. කැලේ කොයි අතට යන්න ඕනිද කියල හිතාගන්න බැරුව හිටියෙ. අපි සිටි ස්ථානයේ ලොකේෂන් එක පුංචි අම්මට යැවුවා. ජංගම දුරකථන බැටරි අක්‍රිය වුණා.

පසුව පුංචි අම්මා ඒ ලොකේෂන් එක පොලිසියට යවලා  තිබුණා ඉතින් හල්දුම්මුල්ල පොලිසිය එක භාවිතයෙන් අපි සිටි ස්ථානය සොයාගෙන ආවා. අපි රාත්‍රී කළුවරේ ගතකෙරේ වන සතුන් ගෙන් හානියක් වුනේ නැහැ. බිහිසුණු අත්දැකීමක් වුණා.

අපිව බේර ගත්තට හල්දුම්මුල්ල පොලීසියේ ස්ථානාධිපති තුමා ඇතුළු ඒ නිලධාරීන් සියලු දෙනාටම අපි අනේකවාරයක්  ස්තුතිවන්ත වෙනවා."  යැයිද නවෝද්‍ය මධුරංග පැවසීය.

හල්දුම්මුල්ල  පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංග සුරවීර මහතාගේ මූලිකත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් මෙම යුවළ බේරාගෙන තිබේ.

හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර 



Recommended Articles