බංගලියන්ගේ ග්‍රීක ගමන කටුනායකින් නවතී


කූඨ ලෙස සකස් කළ ග්‍රීක නේවාසික වීසා බලපත්‍ර භාවිතා කරමින් , ග්‍රීසිය වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් තිදෙනකු 03/30 දින සවස කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ සිටි අවුරුදු 22, 24 සහ 25 යන වයස් වල පසුවන තරුණයන් පිරිසකි. මොවුන් 03/30 දින පස්වරු 05.25 ට බහරේන් බලා පිටත්ව යාමට නියමිත ගල්ෆ් ගුවන් සේවයේ ජී.එෆ්.- 145 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ගල්ෆ් ගුවන් සේවා නිලධාරීන් , මොවුන් ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා වලදී , මෙම ග්‍රීක නේවාසික වීසා බලපත්‍ර , ඉහල තාක්ෂණික උපක්‍රම , සූක්ෂම ලෙස භාවිතා කර , කූඨ ලෙස සකස් කර ඇති බව අනාවරණය වී තිබුණි .

එසේම මොවුන් බහරේන් වෙත ගොස් එතැන් සිට ග්‍රීසියේ ඇතැන්ස් නුවර බලා පිටත්ව යාමට සැළසුම් කර ගෙන තිබූ බව ද එම නිලධාරීන් සිදු කළ වාචික ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය කර ගැනීමට සමත් වී තිබුණි .

ඉන්පසුව අත් අඩංගුවටගත්  සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .



Recommended Articles