2026 යල කන්නය සඳහා ගොවීන් 667,460 දෙනෙකුට හෙක්ටයාර 449,757ක වගා භූමි ප්‍රමාණයක් වෙනුවෙන් රුපියල් මිලියන 13,492ක පොහොර සහනාධාර මුදල මේ වනවිට ගෙවා අවසන් කර ඇති බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසයි.
කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළේ, අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
කන්නය පසුව ආරම්භ කළ සුළු ගොවි පිරිසකට තවදුරටත් පොහොර සහනාධාර මුදල් ගෙවීම සිදු කෙරෙන බවත් ඉදිරි දින කිහිපය තුළ එම ගෙවීම් ද සම්පූර්ණ කරන බවත් හෙතෙම පැවසීය.
මෙම කන්නයේ සිට පෙර පැවති පරිදි වාරික දෙකකින් පොහොර සහනාධාර මුදල ගෙවීම වෙනුවට එක් වාරිකයකින්ම සම්පූර්ණ මුදල ගෙවීමට රජය තීරණය කර ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් රුපියල් 10,200ක නිශ්චිත මිලකට යුරියා කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් ගොවීන්ට ලබාදීමට කටයුතු කළ බව හෙතෙම පැවසීය.ඒ අනුව මේ වනවිට මෙට්‍රික් ටොන් 64,500ක පමණ යුරියා පොහොර තොගයක් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදාහැර ඇති බවත් ඔහු සඳහන් කළේය.
එම නිශ්චිත මිලට පොහොර ලබාදීම සඳහා රජය විසින් රුපියල් මිලියන 1,840ක අමතර පිරිවැයක් දරා ඇති බවද ඔහු අවධාරණය කළේය.
තවද, හෙක්ටයාරයකට රුපියල් 25,000ක් ලෙස පැවති පොහොර සහනාධාරය හෙක්ටයාරයකට රුපියල් 30,000 දක්වා ඉහළ නංවා ගොවීන්ට ලබාදුන් බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
මෙවර යල කන්නයේ සාර්ථක අස්වැන්නක් ලබාගැනීමට හැකි වී ඇත්තේ පසුගිය වසරේ අගභාගයේ සිට ඇති වූ විවිධ අභියෝග හමුවේ රජය කඩිනමින් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
පසුගිය වසරේ අගභාගයේ ඇති වූ “දිත්වා” සුළි කුණාටුව හේතුවෙන් හෙක්ටයාර 60,000කට ආසන්න වී වගා භූමි ප්‍රමාණයකට පූර්ණ හානි සිදුවූ බවත් එම අවස්ථාවේදී රජය හෙක්ටයාරයකට රුපියල් 150,000 බැගින් සුවිශේෂී වන්දි මුදලක් ගොවීන්ට ලබාදුන් බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව , ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ගොවීන් 112,442 දෙනෙකුට රුපියල් මිලියන 8,886ක වන්දි හා ආධාර මුදල් ප්‍රදානය කර ඇති අතර එමඟින් හානියට පත් ගොවීන් නැවත කඩිනමින් වගා කටයුතු ආරම්භ කිරීමට හැකියාව ලැබුණු බවද කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
මීට අමතරව, වගා කටයුතු සඳහා අත්‍යවශ්‍ය වැව්, අමුණු සහ ඇළ මාර්ග යථා තත්ත්වයට පත් කිරීම සඳහා ද රජය මැදිහත්වී ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 5,788ක මුදලක් වෙන් කර ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

