පොලිස්පති ඉවත් කරන හැටි කථානායක පාර්ලිමේන්තුවට කියයි


පරීක්ෂණ කමිටුව මගින් වරදකරු වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලත් කරන බවත්, එලෙස ඇතුලත් කර සම්පූර්ණ දින 5ක් ගත වූ පසු මෙම යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලබන බවත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසීය.

කමිටු තීරණය මත දේශබන්දු තෙන්නකොන් මහතා ධුරයෙන් ඉවත් කරන ආකාරය පිළිබඳ අද (23දා) පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් සිදු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මේ අතර, අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් බහුතරයක් මන්ත්‍රීවරයන් පක්ෂව ඡන්දය භාවිත කළහොත්, අදාළ පන‍ත ප්‍රකාරව ඒ මහතා අප්‍රමාදව ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා දැනුම්වත් කරන බවද කථානායකවරයා පැවසීය.

"2025ජූලි 22 වැනි දින සභාගත කරන ලද, 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය ප‍ටිපා‍ටිය) පන‍තේ 3(ඈ) සහ 3(ඉ) වගන්ති ප්‍රකාරව, පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්ධු තෙන්න‍කෝන් මහතා විසින් සිදු කරන ලදැයි චෝදිත විෂමාචාර ක්‍රියා සහ/හෝ ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීමේ ක්‍රියාවන් සම්බන්ධයෙන් විමර්ශනය කර එහි සොයාගැනීම් වාර්තා කිරීම සඳහා එකී පනතේ 5 වන වගන්තිය ප්‍රකාරව පත්කරන ලද පරීක්ෂණ කමිටුවේ වාර්තාව සම්බන්ධව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙම සභාව‍ට පැහැදිලි කිරීමට කැමැත්තෙමි.

ඒ අනුව, 2025ජූලි 22 වැනි දින සභාගත කරන ලද මෙම වාර්තාවේ මෘදු පිටපත ඉංග්‍රිසි භාෂාවෙන්එදිනම පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි උඩුගත කිරීමට කටයුතු කරනු ලැබ ඇත.

තවද, 2025 ජූලි 22 වැනි දින මෙම සභාවේ දී ලද අවසරය ප්‍රකාරව මෙම වාර්තාව මුද්‍රණය කිරීමෙන් පසු මෙම සභාවේ මන්ත්‍රීවරයන්ගේ පරිශීලනය සඳහා බෙදාහැරීමට කටයුතු කරනු ලැබේ.

මෙම වාර්තාව අනුව, පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්ධු තෙන්න‍කෝන් මහතා වරදකරු බවට තීරණය වී ඇති බැවින්, 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය ප‍ටිපා‍ටිය) පන‍තේ 17 වන වගන්ති‍ය ප්‍රකාරව ඒ මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතයක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලත් කිරීමට ඉන් අනතුරුව කටයුතු කරනු ලැබේ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 ප්‍රකාරව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලත් කිරීමෙන් සම්පූර්ණ දින 5ක් ගත වූ පසු මෙම යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලබන අතර, ඒ සම්බන්ධව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරනු ලබන දිනයක දී විවාදය‍ට ගත හැකි වේ.

පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් බහුතරයක් මන්ත්‍රීවරයන් මෙ‍ම යෝජනා සම්මතයට පක්ෂව ඡන්දය දුනහොත්, එකී පන‍තේ 18 වන වගන්ති‍ය  ප්‍රකාරව ඒ මහතා අප්‍රමාදව ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා දැනුම්වත් කරනු ලැබේ."

 



Recommended Articles