පොලිස් නිලධාරියාගේ සැක ඇස නිසා ගිනි අවියක් හා උණ්ඩ හමුවෙයි


2026.11.‍14 දින උදෑසන තඹුත්තේගම පොලිස් වසමේ රාජාංගනය පාර 03 කණුව බස්නැවතුම්පල ආසන්නයේදී නිකවැරටිය කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් තොස්තාපල්වරයෙකු රාජකාරි වාර්තා කිරීම සඳහා ගමන් කරමින් සිටියදී සැකකටයුතු යතුරු පැදියක් නවතා පරීක්ෂා කර ඇත. 

එම පරීක්ෂාවේදී යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකු සන්තකයේ තිබි රිවෝල්වර් අවි සඳහා යොදන පතොරොම් 04 ක් හමුවී ඇත. පරීක්ෂා කිරීම් සිදුකරන අවස්ථාවේ එම යතුරුපැදියේ පැදිකරු යතුරු පැදිය දමා පලා ගොස් ඇත. පසුපැදිකරු නිලධාරියාගේ යතුරු පැදිය රැගෙන පලා යාමට උත්සාහ කිරීමේදී නිලධාරියා එම පුද්ගලයා සමඟ පොර බැදීමේදී යතුරු පැදිය පෙරලී ඇති අතර සැකකරු පලාගොස් ඇත.

පසුව නිලධාරියා විසින් තඹුත්තේගම පොලිස් ස්ථානය වෙත සිද්ධිය දැනුම් දීමෙන් පසු තඹුත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිදුකළ සෝදිසියේදී එම ස්ථානයට ආසන්නයේ මාර්ගයේ සැකකරුවන් විසින් අතහැර දමාගොස් තිබූ විදෙස් රටක නිෂ්පාදිත රිවෝලවර් අවියක් හා එම පතොරොම් 05 ක් හා සැකකරු වන් පැමිණි යතුරු පැදිය  ද  පොලිස් භාරයට ගෙන ඇත.  

සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා තඹුත්තේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



Recommended Articles