දිට්වා සුළි කුණාටුවෙන් බරපතල ලෙස හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට කඩුගන්නාව දක්වා වූ කොටසේ ඉදිකිරීම් මේ මස 15 වනදා වන විට අවසන් කිරීමටත් ලබන මස මුලදී පේරාදෙණියේ සිට කොළඹ දක්වා දුම්රිය ධාවනය ආරම්භ කිරිමටත් මේ වන විට පියවර ගෙන තිබේ.
2025 නොවැම්බර් මස 27 වනදා ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අනෙකුත් අංශවලට මෙන්ම මෙරට දුම්රිය මාර්ගයටද බරපතල හානි සිදු වූ අතර උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 97 ක් දැඩි ලෙස නායයෑමට ලක්ව තිබිණ. රඹුක්කන සිට කඩුගන්නාව දක්වා වූ කොටසේ ඇතැම් ස්ථානවල දුම්රිය මාර්ගය වැල් පාලමක් මෙන් එල්ලෙමින් තිබෙනුද දකින්නට ලැබිණ.
කෙසේ නමුත් මෙම මාර්ගයේ ඉදිකිරීම් තත්වය සොයා බැලිම සඳහා පෙරේදා එම දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් කිරීමේදී දැක ගන්නට හැකි වුයේ මේ වන විට දුම්රිය මාර්ගයේ ඉදිකිරිම් අවසන් වෙමින් පවතින බවයි. මෙම දුම්රිය මාර්ගයේ බොහෝ ස්ථානවල ඉදිකිරිම් මේ වන විට අවසන් කර ඇති අතර තවත් ස්ථාන දෙකක ඉදිකිරීම් ලහිලහියේ සිදු වන අයුරුද දකින්නට ලැබිණ.
මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සිදු කරනු ලබන ආර්.ආර්.ඉදිකිරීම් සමාගමේ වැඩබිම් ඉංජිනේරු තිළිණ ස්වර්ණමාල් මහතා සඳහන් කළේ රඹුක්කන කඩුගන්නාව දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරේ පවතින බවත් සැප්තැම්බර් ඒ කියන්නේ මේ මාසයේ 15 වනදා සියලු ඉදිකිරීම් අවසන් කරන බවත්ය.
ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාද සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට කඩුගන්නාව දක්වා ඉදිකිරිම් අවසන් කර ලබන මසදී පේරාදෙණියේ සිට කොළඹ දක්වා දුම්රිය ධාවනය ආරම්භ කරන බවයි.
පේරාදෙණිය කළු පාලම හෙවත් යකා පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු වෙමින් තිබියදී නැවතත් මහවැලි ගඟේ ජලය ඉහළ යාම නිසා යන්ත්රසූත්ර යට වම නිසා ගැටළුවක් මතුවීම නිසා එහි ඉදිකිරිම්වලදී යම් අර්බුදයක් මතුව තිබේ. කෙසේ නමුත් මෙම පාලමේ ඉදිකිරිම්ද කඩිනමින් සිදු කර මහනුවර සිටම කොළඹ දක්වා දුමරිය ධාවනය ඉතා ඉක්මනින් ආරම්භ කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කීය.

