පුත්තලමේ කඩොලාන වනාන්තර 8 ක් රක්ෂිත කරයි


පුත්තලම දිස්ත්‍රික්කයෙ කඩොලාන වනාන්තර 8 ක් රක්ෂිත බවට පත් කිරීම ජූලි 26 දිනට යෙදෙන ලෝක කඩොලාන සුරැකීමේ දිනය වෙනුවෙන් සිදු වෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ මහතා පවසයි.

මෙවර ලෝක කඩොලාන සුරැකීමේ දිනය ලබන 26 දින ආනවිලුන්දාව රැම්සා අභය භුමියෙහිදී සැමරීමට පරිසර අමාත්‍යංශය කටයුතු කර තිබේ.

එයට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයෙහි පිහිටි කඩොලාන වනාන්තර 8 ක් මෙලෙස රක්ෂිත ලෙස නම් කිරීම සිදුවන බව පරිසර අමාත්‍යාවරයා පවසයි.

එසේ රක්ෂිත ලෙස නම් කර ඇත්තේ මාදම්පේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පනිරෙන්ඩාව බීට්ටුවට අයත් 543 ඒ ගලහිටියාව, 504සී ගලහිටියාව ග්‍රාම නිලධාරි වසමේ පිහිටි  පනිරෙන්ඩාව,හලාවත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙහි 577 වෙරළබඩ ග්‍රාම නිලධාරී වසමේ පිහිටි හලාවත,566 ග්‍රාම නිලධාරි වසමේ පිහිටි මැරවල හා 561 කාකක්කපල්ලිය ග්‍රාම නිලධාරි වසමට අයත් 583 කුසල හා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් 582 කරුකුපනේ යන කඩොලාන වනාන්තර බව පරිසර අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාවේ මේ වන විට පිහිටි සමස්ත කඩොලාන භුමි ප්‍රමාණය හෙක්ටයාර් 12,500 පමණ වන අතර එයින් වැඩිම ප්‍රමාණයක් පුත්තලම දිස්ත්‍රික්කයෙහි පිහිටා තිබේ.ඒ සමගම ශ්‍රී ලංකාවේ පිහිටි කඩොලාන විශේෂ 11 අතරින් වැඩිම සංඛ්‍යාවක් පුත්තලම දිස්ත්‍රික්කයෙහි විසිරි ඇත. කරදිය ආශ්‍රිතව ඇති ගංගා,ඇල දොල හා කලපු තීරු දෙපස කඩොලාන පිහිටා තිබේ.

 



Recommended Articles