නාවලපිටිය බව්වාගම සිරි ධම්මරතන මහ පිරිවෙනේ 50වන සංවත්සරය (30) දින මහා විහාර වංශික මහා විහාරයේ සියාමෝ පාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරිභිධාන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
1975 දෙසැම්බර් පළමු දින ආරම්භ කළ මෙම පිරිවෙනෙහි ආදි කතෘ පළමු කෘත්‍යාධිකාරී ලෙස දෙකිද නාග ශ්‍රී බෝධිරුක්කාරාම පුරාණ විහාරාධිපති අපවත් වී වදාළ පූජ්‍ය කීරපනේ ශ්‍රී සිද්ධාර්ථ ධම්මරතනාභිදාන සියාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ උඩ බුලත්ගම් පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක නාහිමිපාණන් වහන්සේ කටයුතු කලහ.
50 වන සංවත්සරයට සමගාමීව නාවලපිටිය දෙකිද මාර්ගය කීරපනේ ශ්‍රී ධම්මරතන නාහිමි මාවත ලෙස නම් කිරීම හා එම පිරිවෙනෙහි පුස්තකාලය දෙකිද සීලරතන නාහිමි ගුණානුස්මරණ පුස්තකාලය ලෙස නම් කිරීම සිදු කෙරිණි.
පිරිවෙන් අධ්‍යාපනයේ වැදගත්කම තවම හරිහැටි බලධාරින් හඳුනාගෙන නොමැති බව අනුනායක හිමියෝ මෙහිදී අවධාරණය කළහ.
මෙහිදී අනුශාසනාවක් සිදුකල අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පිරිවෙන් අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂක ආචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය කුඹල් ගොඩ ධම්මාලෝක හිමි ප්‍රකාශ කර සිටියේ,
“වර්තමානයේ බොහෝ කතාවන මාතෘකාවක් තමා අධ්‍යාපනන ප්‍රතිසංස්කරණ, ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ දී සංඝරත්නය හැටියට අපිට ලොකු වගකීමක් තියෙනවා. පිරිවෙන් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරන්න මෙතෙක් කාලයක් පිරිවෙන් අධ්‍යාපන පනතක් තිබුනෙ නෑ. පනතක් නෙමේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්, එය සකස් කරන්න දැනට මහා නායක අනුනායක හාමුදුරුවරුන්ගේ මූලික අනුමැතියෙන් කටයුතු සිද්ධ වෙනවා. තව මාසෙකින් දෙකකින් පනත හදලා ඉවර වෙනවා.
ඊට පස්සේ අපිට පිරිවෙන් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්. මේ සඳහා කරන ලද පරීක්ෂණයේදී රටේ මහානායක හිමිවරු ඇතුළු සංඝරත්නය මෙන්ම සියලු දෙනාම පාහේ අපෙන් ඉල්ලා සිටියේ අපේ පැරණි තිබූ සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය, ඒ පොත පතටික බෞද්ධ දර්ශනය ත්‍රිපිටක ධර්ම ටික පාලි සංස්කෘත, ඒ පැරණි අධ්‍යාපන ක්‍රමය අපට නැවත හඳුන්වලා දෙන්න කියන එකයි. එය අදහසින් තමයි අපි පිරිවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වන්නේ.
ඒ තුළින් තමයි හොඳ පෞරුෂවත් ධර්මධර භික්ෂූන් වහන්සේලා බිහි වුණේ, භාෂාන්තර විශාරදයන් බිහිවුණේ. අපි තමා පළවෙනියෙන්ම භාෂාන්තර උපාධි ලබාදුන්නේ ලබාදුන්නේ, සද්භාෂා පරමේෂ්වරවර කියලා. ඒසා විශාල වගකීමක් පිරිවෙන් අධ්‍යාපනයට තියෙනවා. මේ ධම්මරතන පිරිවෙන තුළින් ඒ අධ්‍යාපනයේ හොඳින් ලබා දෙන බවට අපට විශ්වාසයි” යනුවෙනි.
සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ උඩ බුලත්ගම් පළාතේ සහ ගඟ ඉහළ කෝරළේ ප්‍රධාන සංඝනායක, සිරි ධම්මරතන මහ පිරිවෙන් පරිවෙනාධිපති පූජ්‍ය කැන්දගොල්ලේ සුදම්මානන්ද නායක ස්ථීවර වහන්සේගේ අනුශාසකත්වයෙන් බව්වාගම සිරිධම්මරතන මහා පිරිවෙන් කෘත්‍යාධිකාරී පූජ්‍ය කන්තලේ සුමංගල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ සංවිධානයෙන්, විහාරස්ථ දායක සභාවේ අනුග්‍රහයෙන් මෙම උත්සවය පැවැත්විනි.
මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රණී තුෂාරි ජයසිංහ, නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර ඇතුළු ගිහි පැවිදි සම්භාවනීය අමුත්තන් රැසක් සහ ප්‍රදේශවාසීන් රැසක් පැමිණ සිටියහ.


