පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ගැටලු විසඳීමට නව වැඩපිළිවෙළක් වෙනුවෙන් එහි වෙළෙඳ ප්‍රජාව සමඟ සාකච්ඡාවක් ධිවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
මෙරට මත්ස්‍ය බෙදාහැරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය වන පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ තොග සහ සිල්ලර වෙළෙඳුන් මුහුණ දෙන දීර්ඝකාලීන ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා ධිවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පසුගිය දා එම සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුහ. එහිදී වෙළෙඳ ප්‍රජාව සමඟ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීය.
ඉදිරි වර්ෂයේ අයවැය සඳහා ධීවර ක්ෂේත්‍රයෙන් යෝජනා ලබා ගැනීමේ වැඩසටහනේ කොටසක් ලෙස පැවති මෙම හමුවේදී, වෙළෙඳ ප්‍රජාව විසින් ඔවුන් මුහුණ දී ඇති ප්‍රධාන ගැටලු නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත යොමු කරන ලදී.
වෙළඳ සංකීර්ණය වෙත ළඟා වන මත්ස්‍ය ලොරි, ලියාපදිංචි තොග වෙළෙඳසැල් මඟහැර, වෙළඳ සංකීර්ණ භූමිය තුළදීම පිටත ගැනුම්කරුවන්ට සෘජුවම අලෙවි කිරීම හේතුවෙන් ලියාපදිංචි ව්‍යාපාරිකයින් දැඩි අසීරුතාවකට පත්වන බවත්, වෙළඳපොළේ විධිමත් ක්‍රමවේදය බිඳ වැටෙන බවත් තොග වෙළෙඳුන් පෙන්වා දුන්හ.
වෙළඳ සංකීර්ණය තුළ මූල්‍ය වංචා (අගරු චෙක්පත් ලබා දීම වැනි) සහ වෙළෙඳ ආරවුල් විසඳා ගැනීමේදී දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන බව වෙළෙඳුන් පෙන්වා දුන්හ. වෙළඳ සංකීර්ණයේ සේවයේ නියුතු වෙළෙඳුන්, සේවකයින් සහ නීත්‍යානුකූල සේවා සපයන්නන් සඳහා විධිමත් හැඳුනුම්පතක් නිකුත් කර නොමැති වීම, අනවසර පුද්ගලයින්ගේ පැමිණීම, සොරකම් සහ වෙනත් අක්‍රමිකතා ඉහළ යෑමට හේතු වී ඇති බවට වෙළඳ ප්‍රජාව විසින් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එහිදී ධිවර නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසිවේ එකි ගැටලු නිරාකරණය කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බවයි.
"පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය යනු, රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ පෝෂණ මට්ටමට ද සෘජු දායකත්වයක් සපයන ඉතා වැදගත් ස්ථානයක් බවත්, මෙහි පවතින ගැටලු විසඳා, සෞඛ්‍යාරක්ෂිත, ක්‍රමවත් සහ සාමකාමී ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අරමුණක් වන අතර, වෙළෙඳ ප්‍රජාව විසින් පෙන්වා දුන් අනවසර වෙළෙඳාම නැවැත්වීමටත්, සියලුම වෙළෙඳුන් සඳහා හැඳුනුම්පත් ලබා දීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමටත්, පොලිසිය සමඟ සාකච්ඡා කර විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් සැකසීමට කටයුතු කරන බව නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.
තවද ඔවුන්ගේ යෝජනා ලිඛිතව ලබා දෙන ලෙසත්, 2026 වසරේ සිට මෙම වෙළඳ සංකීර්ණය නව මුහුණුවරකින් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කෙටිකාලීන සැලැස්මක් වහාම සකස් කරන බවත් ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන ලෙසත් නියෝජ්‍ය ඇමතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා පෞද්ගලික ලේකම් එච්.එස්. හතුරුසිංහ මහතා සහ සම්බන්ධීකරණ ලේකම් ඩබ්ලිව්.ඒ.ජේ. මල්කුමාරි මහත්මිය ද එක්ව සිටියහ.
අනුර ප්‍රියන්ත