පැල්වත්ත හා සෙවනගලට දුන්න දැවිතෙල් වලිනුත් ගසා කාලා


සීමාසහිත ලංකා  සීනි පුද්ගලික සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල ඒකකයන්හි බොයිලේරු  සඳහා  අදාළ සැපයුම්කරු විසින් පිරිපහදු කළ දැවිතෙල් වෙනුවට නැව් සහ යන්ත්‍ර වලින්  ඉවත්කරනු ලැබූ  පිරිපහදු නොකළ කළුතෙල් සපයා තිබූ අතර ඒ වෙනුවෙන්  සමාගම විසින් රුපියල් තිස්හතරකෝටි,දාසයලක්ෂ,අසූහත්දහස්,පන්සිය අසුදෙකක මුදලක් (341,687,582) සැපයුම්කරුට ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

පැල්වත්ත හා  සෙවනගල  ඒකකයන්හි බොයිලේරු  සඳහා  දැවිතෙල් මිලදී ගැනීමේ දී  ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් මිලදී  නොගෙන  ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි අනුගමනය  නොකර  බාහිර පුද්ගලයකු වෙත දැවිතෙල් මිලදීගැනීමේ ටෙන්ඩරය පිරිනමා තිබේ.

 මෙම කළුතෙල් භාවිත කළ කාලසීමාවෙහි  බොයිලේරුව නිරන්තරයෙන්  අක්‍රිය වී තිබූ බැවින්  දින 46ක  කාලයෙහි  රුපියල් මිලියන 300ක් වටිනා  එතනෝල් ලීටර්  6000ක නිෂ්පාදනයක් සමාගමට අහිමි වී තිබේ. මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ  විමර්ශන කොමිෂන් සභාව විසින්ද විමර්ශනයක් සිදුකරමින්  ඇත.

මේ නිසා  සීනි සමාගමට  සිදුවී ඇති අලාභය නැවත  අයකරගැනීමටත්  වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කළ යුතු බවට විගණනය මගින් ද නිර්දේශකොට තිබේ.

චන්දන සමරවික්‍රම



Recommended Articles