පාස්කු ප්‍රහාරයේ සයවස් සැමරුම අද කොච්චිකඩේදී


පාස්කු ඉරුදින ප්‍රහාරයේ සය වසර සිහිකිරීමේ ප්‍රධාන සැමරුම අප්‍රේල් 21 සඳුදා පෙරවරුවේ කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදී කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අද උදෑසන 7 ට කොටහේන සා. ලුසියා ආසන දෙව්මැදුරෙන් ඇරඹෙන යැදුම් පා ගමන කොච්චිකඩේ සා. අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානය වෙත ගමන් කිරීමට නියමිතය .

උදෑසන 8.30 ට කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේදී කාදිනල් හිමිපාණන්, සර්ව ආගමික නායකයින් තානාපති වරුන් සහ වින්දිතයින්ගේ සහභාගිත්වයෙන් 6 වන සැමරුම පැවැත්වෙන අතර උදෑසන 8.45 ට සියලු ආගමික ස්ථානවල සීනු නාද කිරීම සහ මිනිත්තු 2 ක නිශ්ශබ්දතාව රැකීම සිදු කරනු ලබයි.

එයට සමගාමීව මීගමුව- කටුවපිටිය සා. සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේදී උදෑසන 8.15 ට අති උතුම් මැක්ස්වෙල් සිල්වා, සහ ජේ. ඩී. ඇන්තනි හිමිපාණන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දේව මෙහෙය පැවත්වෙන අතර එදින පස්වරු 4.30 ට අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වින්දිත පවුල් 10 කට නිවාස ලබාදීමේ උත්සවය දේවස්ථානයට නුදුරින් පැවැත්වේ.

පස්වරු 5.30 ට වතිකානයේ ශුද්ධාසනය විසින් ප්‍රහාරවලින් මියගිය අයව ඇදහිල්ලේ සාක්ෂිකරුවන් ලෙස පිළිගැනීම අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ප්‍රකාශයට පත්කිරීම සහ දේව මෙහෙය පැවත්වෙන බැව්ද ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ, ජූඩ් ක්‍රිෂන්ත ප්‍රනාන්දු පියතුමා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

වත්තල- ස්ටැනිස්ලස් පයස්

 

 



Recommended Articles