ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනාට ඇප නෑ


කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා තවදුරටත් ලබන අගෝස්තු මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද ( 28 වැනිදා ) නියම කළාය. 

 හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර  , කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා හා හිටපු ඇමැති මර්වින් සිල්වා ගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන තිදෙනා මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. 

මෙදින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොසිටි අතර ඔවුන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගන්නා ලදී. . ඔවුනට නියෝගය බන්ධනාගාරය මගින් දන්වන බවද මහේස්ත්‍රාත්වරිය පැවසුවාය. 

මේ අතර මේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ඇමැති මර්වින් සිල්වා  , කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල් හා නවින් වීරකෝන් යන තිදෙනා මීට ඉහත මහාධිකරණයෙන් ඇප ලබා මුදා හැර තිබේ. . 

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය  අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල් චින්තක මහතා ( 85006 ) විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ සදහන් කෙළේය. 

මේ නඩුවේ විමර්ශන අවසන්. එහි  උධෘත නීතීපතිතුමාට යොමු කර තිබෙනවා. එය නීතිපති දෙපාර්තමේන්තුව විසින්  අධ්‍යයන කරමින් සිටිනවා. ඒ අනුව ඉදිරියේදී  මේ සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා  ගොනු කිරීමට තිබෙන හැකියාව සොයා බලමින් ද සිටිනවා. මේ සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ නීතීපතිවරයාගේ උපදෙස් අනුව පොදු දේපල පනත යටතේයි. ඒ නිසා ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා සිටිනවා. 

සැකකාර හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා වෙනුවෙන් පෙනි සිටි නීතීඥ දේශාල් පෝල් මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කීය. . 

මේ සැකකරුවන් සම්බන්ධව නීතීපතිවරයා දක්වන ස්ථාවරය කුමක් ද යන්න අසා අධිකරණයට දන්වන ලෙසට අපි දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. නමුත් එයට නිසි ප්‍රතිචාරයක් එම නිලධාරීන්ගෙන් තවම ලැබුනේ නැහැ.නමුත්  තම සේවාදායකයින්ට ඇප ලබා ගැනීම සදහා අපි මහාධිකරණයට ඇප  අයදුම්පත් ඉදිරිපත් කර තිබෙනවා. අද දිනයේ  ඒ සම්බන්ධව නියෝගයක් ලබා දීමට ද තිබෙනවා. 

දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වු කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියම කෙරිණි. 

මල්වාන ඩබ්ලිව් ඩී එම් විතානගේ

 

 

 



Recommended Articles